Wednesday, January 2, 2019

ගෙවල්


රටේ ඉඩං තියනවනං, මිනිස්සුන්ගෙ බදු සල්ලි තියනවනං, ගෙවල් හදන්න ඇමතියෙක් ඕනෙද.. . විවෘත කරන එක විතරයිනෙ කරන්න තියෙන්නෙ.

එහෙනං මොකටද නිවාස ඇමතියෙක්..?

රටක නිවාස ප්‍රතිපත්තියක් කියන්නෙ විද්‍යාත්මකව වෙන්න ඕනෙ දෙයක්.

ඒක ඒ රටේ ජනගහනය, ජනගහන වර්ධන වේගය,නිවාස අවශ්‍යතාවය කොපමණ ද, ඊළඟ දශක කිහිපයක් තුල  ඒකෙ වැඩි හෝ අඩුවීම් වෙන්නෙ කොහොමද, අවශ්‍ය නිවාස ඒකක ප්‍රමාණය කොපමණද, ඊළඟ අවුරුදු වල ඒක වැඩි වෙන්නෙ හෝ අඩුවෙන්නෙ කොහොමද, වගේ බොහෝ දේවල් එක්ක..

 රටේ ප්‍රශස්ත වනාන්තර අවශ්‍යතාවය, මුහුදු වෙරළ , ජලාශ , ගංගා, වනසතුන්, ආදී ස්වභාවික පරිසරය සඳහා අවශ්‍ය භූමිය, කාර්මික හා කර්මාන්ත අවශ්‍යතා සඳහා අවශ්‍ය ඉඩම්, කෘෂිකාර්මික ඉඩම්,



පරිපාලනමය නාගරික, අවශ්‍යතා සඳහා අවශ්‍ය භූමිය, මහා මාර්ග, දුම්රිය මාර්ග වැනි ප්‍රවාහන අවශ්‍යතා සඳහා අවශ්‍ය භූමිය , මීළඟ දශක වල රටේ සංවර්ධන සැලසුම් මොනවද, වගේ තවත් බොහෝ දේ සඳහා හැරුනාම නිවාස වලට ඉඩම් කොච්චර තියනවද..
ජලය විදුලිය ප්‍රවාහනය ආදී යටිතල පහසුකම් සැපයීම,
පදිංචිකරුවන්ගේ සමාජ සුබසාධනය, ආර්ථිකයට දායක කරගන්නෙ කොහොමද, පරිසර හානිය අවම කරගන්නෙ කොහොමද, වගේ
තව බොහෝ අවශේෂ දේවල් තියනවා ඔයිට අමතරව.

එතකොට උදාහරණයක් විදිහට ලංකාව දූපතක් හින්දා අපිට භූමිය සීමිතයි. එහෙනං අපිට තිරස් නිවාස තවදුරටත් ප්‍රායෝගික නැහැ.

එතකොට ඒ රටේ නිවාස ප්‍රතිපත්තියක් හදනවනං ඒක ඔය වගේ හැමදේම පදනම් කරගත්ත අනාගතය දිහා බලලා ඉතාම විද්‍යාත්මක ක්‍රමවේදයක් අනුව සැකසෙන්න ඕන දෙයක්..

ඔන්න ඕකට තමයි ඇමති කෙනෙක් එක්ක නිලධාරී මණ්ඩලයකට වගකීම පැවරෙන්නෙ ඒකට අවශ්‍ය ප්‍රතිපත්තිමය, නෛතිකමය තීරණ අරගෙන නිවාස වැඩපිළිවෙල ඉතාම සැලසුම්සහතගතව  ක්‍රියාත්මක කරන්න.

හැබැයි ඔය සජිත් ප්‍රේමදාස කරන්නෙ කොහෙන් හරි ඉඩමක් හොයාගත්තා.. සල්ලි වෙන් කලා, පේලියට ගෙවල් හදන් ගියා, සඳනාවත්කමක්නැතීපුතී ගම, සුන්දරසිරිබරිනී ගම, සුරංගනාවීමගේසඳක්වගේපායලා ගම, සකියසගව්වටරෝදයකැරකෙනවා පුරය වගේ නමක් දාලා බෙදලා දෙන එක.

ඉතින් මම අහන්නෙ කිසිම ප්‍රතිපත්තිමය තීරණයක්, සැලසුමක් නැතුව,මිනිස්සුන්ගෙ සල්ලි වලින්, ඉඩමක් හොයාගෙන ගෙවල්  හදන්න ඇමතියෙක් ඕනෙද ?
ඕකටද නිවාස ප්‍රතිපත්තියක් කියන්නෙ.

සජිත්ගෙ තාත්තා අනූගණන් වල කලෙත් ඕකම තමයි. ඉඩමක් ගත්තා ගෙවල් හැදුවා බෙදුවා. ඒ කාලේ විද්‍යාත්මක ක්‍රමේකට නිවාස ප්‍රතිපත්තියක් හදලා ක්‍රියාත්මක කලානං මේ වෙනකොට රටට නිවාස ප්‍රශ්ණයක් එන්නෙවත්, සජිත්ට තාත්තා වගේම ගෙවල් හද හද ඇවිදින්න ඕන වෙන්නෙවත් නෑ.

ඡන්ද බලාගෙන කරන සැලස්මක් නැති  වැඩ වලින් තව කාලෙකදි ඉතා දරුණු විපාක වලට ඉස්සරහට රටක් විදිහට මූණ දෙන්න වෙනවා කියන එක මතක තියාගෙන ඉන්න එක හොඳයි.

  - චමල් අකලංක පොල්වත්තගේ

1 comment: