Monday, March 23, 2020

හිම



අපි දෙන්නා ගෙයක් හදන එක ගැන ඒ දවස් වල කතා කරද්දි ලෝකෙ හිටියෙ අඟහරු මතුපිට ජනපද පිහිටවන ව්‍යාපෘතිය පටන් අරගෙන. ඊට කලින් හැමදේම අවසන් වුණා. අපේ ගෙවල් හැදීම සහ අනිත් හැමදේම.

හිම මත ජීවිතයක් ගැන මගේ හීනයක් තිබුණා පුංචි කාළෙ. අයිස් උඩ සෙල්ලම් කරන්න. කාටුන් වල චිත්‍රපටි වල තිබුණ විදිහට හිම මිනිස්සු හදන්න. නහයට තියපු කැරට් අලයක්. මම ශීතකරණය සුද්ද කරන්න අම්මට උදව් කරන්න එක හේතුවක් ඒක. අධිශීතකරණය ඇතුලෙ හිම මිදෙන හැටි බලන්න මම ආසා කළා. ඒ අඩි දෙකක් පළල අඩියක්වත් උස නැති ශීතකරණයේ ඉහලින්ම තිබුණ අධිශීතකරණ පෙට්ටිය ඇතුලෙ මගේ ශීත ඍතුව මම මවාගත්තා. හිම බැඳුන ගස්. හිම වැටුණ ගෙවල්. හිම කබා ඇඳගෙන සීතලේ එහෙ මෙහෙ යන මිනිස්සු. හිම



සපත්තු දාගෙන හිමේ ලිස්සන ළමයි. හිම බෝල වලින් දෙපැත්තට බෙදිලා ගහන්න විදිහ. හිම කඳු.ඒවා වල ඉන්න හිම වලස්සු. පොඩි අයිස් පෙට්ටිය ඇතුලෙ මම මවාගත්තා.
අයිස් දියවෙලා වතුර බිංදුව බිංදුව පහළ තට්ටුවෙ තිබුණ ප්ලාස්ටික් තැටියකට බේරෙනවා. පහලට කේතු විදිහට හැදුන අයිස් උල් වලින් වතුර බේරෙනවා. ඒක මම මවාගත්තා ශිශිරයෙන් පස්සෙ වසන්ත කාලෙ උදාවෙන්නෙ මෙහෙම වෙන්න ඇති කියලා. බිංදුව බිංදුව අයිස් මිදිලා වතුර පාරවල් හැදිලා මල් පිපෙන්න පටන් ගන්න කාළෙ. අයිස් පෙට්ටිය ඇතුලෙ හිමෙන් බැඳිලා ගල්වෙලා හිටපු මාළු කූරියන්ගෙ ඇස් දිලිසුණා. මිදුණු ලේ කැටි මම ඇඟිල්ලෙන් පොඩි කළා. මම ඒ අයිස් පෙට්ටිය ඇතුලෙ හිම බෝල හිම මිනිස්සු හදන්න උත්සහා කළා. මට හැමදාම තිබුණ ප්‍රශ්ණයක් තමයි ශීත ඍතුව තියන රටවල් වල එහෙම කරද්දි ඇයි මට බැරි කියන එක.
මගේ ශීත ඍතුව ගත කිරීම අවසන් වුණේ හෙම්බිරිස්සාවකින්. හිම නොබැඳෙන ශීතකරණයක පැමිණීමෙන්.

මට ඕන වුණා ඇයව බලන්න. දැන් මට ඇති තරම් හිමේ සෙල්ලම් කරන්න හිම තියනවා. වසන්තය කවදා එයිද කියලා කාටවත් කියන්න බැරි තරම් දිග ශීත ඍතුවක්ලු. පොඩිකාලෙ කවදාවත් හිතුවෙ නැහැ මම ආස කරපු ශීත ඍතුව ශාපයක් දක්වා දුරදිග යයි කියලා. මට ඇයව දකින්නම අවශ්‍ය වුණා. අතින් පොඩි කරපු මාළුන්ගෙ ලේ කැටි වෙනුවට අපි දැන් දකින්නෙ සීතලේ ගල් ගැහිලා මැරිලා ගිය මිනිස්සු. කාටවත් හැකියාවක් තිබුණෙ නෑ හිම කුට්ටි හාරලා වළදාන්න. ඉතින් හිමෙන් වැහුවා. එකම එක දරුවෙක් හිමේ සෙල්ලම් කලේ නැහැ. නගරයේ ඉතුරු වෙලා හිටිය මිනිස්සුන්ගෙන් පොඩිම දරුවටත් දැන් අවුරුදු අටක් විතර ඇති..

අවුරුද්ද පුරාම අව්වෙන් වැහිලා තිබුණ නගරය.. ඇය පැමිණ ඇත්ද. මා පසුකර ඇදෙන වියළුණු හිමෙන් වැහුණ කිසිම ගහකට ඵල දරන්න හැකියාවක් තිබුණේ නැහැ. මිනිස්සුන්ගෙ ඉරණමමයි. මැරුණා කියලා කපලා අයින් කරන්න කවුරුත් නැහැ. කොළපාටට තිබුණෙ ඇඳුමක් ගොඩනැගිල්ලක් පමණයි.. නිතර රණ්ඩු කරපු දාඩිය පෙරාගෙන හිටපු මිනිස්සුත් සුදුමැලියි. ඔවුන් ශිෂ්ඨාචර සිය ගාණක් පහුකලේ දැඩි අව් රශ්මියක. ශීත කබායක් නැති ඔවුන් ඇන්ටාක්ටිකාවක හිරවුණා. මා කුඩා කළ ගිය දුම්රිය ගමන් සිහිවෙනවා. මේ දුම්රිය කිසිදාක නිශ්ශබ්ද එකක් වුණේ නෑ. නමුත් මේ මූසල හිම යුගය අපේ ජීවිත වල වචන පවා තීරණය කරනවා. මිනිස්සු කතා කරන්නෙ නැහැ.

මම බැස්සා.. මගෙ ඉරුණ කබායෙන් ඇඟ ඇතුලට සීතල සුළඟ ඇතුළුවෙනවා.. මම ඇයව හොයාගෙන ගියා. දුම්රිය උද්‍යානය ළඟ ඇය ඉන්නවා.  ඇය තවමත් සුන්දරයි. තරුණයි. මේ බංකු වල අපි පැය ගණන් කතා කරන්නැති. අව්වට බැන බැන සරුවත් බොන්න ඇති. වැස්ස බලාගෙන ඉන්නැති. දැන් ඇය හිමෙන් සුදුමැලියි. ඇය මං දිහා බලාගෙන ඉන්නවා.

තවත් මිනිස්සු විස්සක් තිහක් ඉන්න දුම්රිය වේදිකාව. මා පැමිණි දුම්රියෙන් පැමිණිවුන්  ගමන් කරනවා වේදිකාව මතින්. ඇය මා දිහා බලාගෙන ඉන්නවා.

මට ඇයව වැළඳගන්න අවශ්‍යවුණා. මම ඇය දිහාවට ඇවිදගෙන ගියා. වේදිකාව පහු කරගෙන දුම්‍ රිය ස්ථානයෙන් එහා උද්‍යානයේ ඉන්න ඇය ළඟට ගියා. මම ඇගේ පසුපසින් හිටගත්තා. ඇය මා දිහා බලාගෙන ඉන්නවා. ඇය දිගටම මා දිහා බලාගෙන ඉන්නවා. මා සමග දුම්රියෙන් පැමිණි වුන් ද එතැන. තවත් සිය ගණනක් දිහා බලාගෙන ඉන්නවා. මා ඇගේ පසුපසින්. ඇය දිහා බලාගෙන ඉන්නවා. ඇතැමුන් හඬනවා. ඇය හඬන්නේ නැහැ. ඉටිපන්දම දල්වලා මා ඉදිරියෙන් රැඳවුවා.  කබා සාක්කුවෙන් ගත්ත රෝස මලක් ඇය මා ඉදිරියෙන් තියනවා. රතුපාට ප්ලාස්ටික් රෝස මලක්.. සීතල හුළඟ ඉටිපන්දම නිවුවා. ඇය නැවත එය දැල්වුවා..
මා ඇය දිහා බලාගෙන ඉන්නවා. ඇය මගේ ඇස් දිහා බලාගෙන ඉන්නවා. මේ පින්තූරය ගත්තෙ ඇය. ඇය හිනාවෙනවා. තොල් වලින් යන්තමට හිනාවෙනවා. මම එහෙම හිතනවා.
දණ බිම ඔබා මම දිහා බලාගෙන ඉන්නවා. ඇස් වැහුවාම අවුරුදු හයකට කලින් වගේමයි. ඇය නැගිට්ටා. වෛරසයට හැකියාවක් තිබුණේ නැහැ සිලිකන් පුවරුවක් මත වැඩෙන්න. ඇයගේ දුරකතනයේ තිබුණේ අප දෙදෙනා රෝහලේදි ගත්ත අවසන් පින්තූරය. ඇය තවමත් මාගේ අන්තිම කැමැත්ත ඉටුකර නැහැ. ඇගේ දත්ත ගබඩාවෙන් මා සම්බන්ධ මතකය මකා දමා නැහැ..
මා හොඳින්ම දන්නේ එක් දෙයක් පමණයි.  ඇය මාගේ මතකය මකා දමා නැත. ඇය සියළු සාහිත්‍යමය, මස්, ලේ මතින් ලියැවුණ ජෛවීය ක්‍රියාවලිය, ලෝහමය පද්ධතියකින් අභියෝගයට ලක් කරමින් ඉතිහාසය ලියමින් සිටියි.

  - චමල් අකලංක පොල්වත්තගේ



2 comments:

  1. Beautiful. Painful. Powerful. But, that "winter" will not arrive. Or, let's hope so. For we need hope and even more so real remedies to stop the virus. Then, the winter will not come. And you will be building that house with her.

    ReplyDelete
  2. Beautiful. Powerful. Painful. But, that "winter" you're talking about.. it will not arrive. Rather, we can't let that winter to arrive. We need hope now, more than at any other time, hope that we can come through this disaster without having that winter forced upon us. Moreover, we need real leadership that can provide real remedies to stop the virus at its path of indiscriminate carnage. We have to keep hoping for that. At least that's how l'm facing this. May be it's naive. But I prefer that to the gloom and doom scenario. So, I hope and pray that you will build that house with her, once this is over.

    ReplyDelete