Friday, March 27, 2020

මේ පිට්ටනිය හැදුවෙ මම !


ඉතා අඳුරු රෑක හුස්ම ගන්නවා. මේ වායුව විෂ ද එහෙම නැත්ද කියන්න මම දන්නෙ නැහැ. නමුත් මම හුස්ම ගන්නවා. මම දිව්වා. නැවතිලා හුස්ම ගන්නවා. මේක ආනාපානසතියක්ද කියන්න මම දන්නෙ නැහැ. නමුත් මට හුස්ම නොගෙන ඉන්න බැහැ.

භාවනා කෙරෙව්වෙ බලෙන් පොඩිකාලෙ. හොරෙන් එක ඇහැක් ඇරලා බලනවා. ඇස් දෙකම යන්තම් අරිනවා. ටොක්කක්. ඇස් වහන් ඉන්න බය වුණා. මට ඒ වෙලාවෙ ආවෙ මිනිපෙට්ටියක් ඇතුලෙ ඉන්නවා වගේ හැඟීමක්. හික්මවීම වෙනුවෙන් මම ගුටි කෑවා. මම හික්මුණේ සෙල්ලම් කරලා. කකුල් දෙක බැඳගෙන ඇස් වහගෙන එක තැනක ඉන්නවට වැඩිය කකුල් රිදෙනකන් පිට්ටනියෙ දාඩිය පෙරාගෙන දුව දුව බෝලෙකට පයින් ගහනකොට මම භාවනා කළා. ඒ හැම පියවරක්ම තිබ්බෙ සම්මා සතියෙන්.

අම්මගෙ උවමනාවට කාමරේ බිමින් තිබ්බ බෝලෙ ආයෙ අතට ගත්තෙ දුව. තාත්තා කියපු දේ හරියි කියලා මට තේරුණා. මේ බෝලෙට මම කැමතියි. හැබැයි මේ බෝලෙ මට දුන්නෙ භාවනාව විතරයි.  ඕලෙවල් පාස් වෙච්ච වෙලාවෙ මට ඒක තේරුණා.



"පුතා මේක හදපු පිට්ටනියක්. මේකෙ රූල්ස් කලින් තීරණය කරලා තියෙන්නෙ. අර ඉරෙන් එළියට ගියොත් උඹ එළියෙ. උඹ තවදුරටත් ගේම් එකේ නෑ. උඹ කැමති වුණත් අකමැති වුණත් උඹ අර බෝලෙට ගහලා ඒක අරගෙන යන්න ඕනෙ. ඒ බෝලෙට තමයි හැම එකාම පොරකන්නෙ. උඹට විරුද්ධ උන් වගේම උඹ වටේ ඉන්න, උඹෙයි කියලා හිතන් ඉන්න උන් පවා. උඹලා ඔක්කොම එකක් කියලා හිතාගෙන අරුන්ට වැඩිය ලකුණු අරන් දිනයි. හැබැයි අර බූට් එක ගෙදර ගෙනියන්නෙ එකෙක් විතරයි. උඹ දින්නට වැඩක් නෑ. අර බූට් එකයි උඹෙ තැන. උඹ මේකෙ සෙල්ලම් කරන්න ඕනෙ ඒක බලාගෙන. එතෙන්ට ලෑස්ති වෙන්න. ඊට පස්සෙ හැමදේම උඹ පස්සෙන් එනවා.. උඹට මැරෙන්න වෙයි. අර පේන බෝඩ් එකට ඌ මූණ දාගත්තෙ ඊට පස්සෙ..."

මට ඕන කළා හොඳ ජීවිතයක්. අර බෝඩ් එකේ මූණ දාගන්න. මම සාර්ථක මිනිහෙක්. හැමදේම මට තියනවා. හැමදේම ලබාගත්තා. කකුල් තුවාල කරගෙන තල්ලු කරගෙන දුවලා බූට් එක පවා ගත්තා.

අද රෑ පුතාව නිදිකරවනකන්..

තාත්ති අපි මැරෙයිද ?

මොකක්ද අපි මේ කරන්නෙ.. ආදරේ කරන මිනිස්සු එක්ක අපිට එකට ඉන්න ඕනෙ..අපිට ගෙවල් ඕනෙ. වාහන ඕනෙ. ඉඩම් ඕනෙ. ඒවට බඩු ඕනෙ. වෙඩින් ගන්න ඕනෙ. දරුවො හදන්න ඕනෙ. ඉස්කෝලෙ දාන්න ඕනෙ. උගන්නන්න ඕනෙ. කන්න බොන්න ඕනෙ. නෑයො යාලු මිත්‍රයො ආශ්‍රය කරන්න ඕනෙ.. ඒවට සල්ලි ඕනෙ. සල්ලි ගොඩක් ඕනෙ. කොටින්ම නීතිය පවා තීරණය කළා සමහර වෙලාවට මං ඇඳපු ඇඳුම. මගෙ වාහනේ..  සල්ලි හම්බකරන්න ඕනෙ. සල්ලි හම්බකරන්න වැඩ කරන්න ඕනෙ. සල්ලි ගොඩකට වැඩ ගොඩක්. වැඩ ගොඩක් කරන්න පිටරට ගියා. එනකොට පුතා වචන අහුලන් කතා කරනවා. උදේ ගියා. රෑ ගෙදර ආවා.. ඉතින් මම ඒක කළා.. එහෙම නොකර බැහැ.. හිතලා හරි නොහිතලා හරි මම ඒක කළා. බෝලෙට පයින් ගැහුවා.. හැමදේම තියන සාර්ථක මිනිහෙක් කියලා හැමෝම කියනකන් මම ඒක කළා. මේ ලෙඩේ නැත්තං මම දැනුත් මගෙ සීට් එකේ. හම්බකරනවා..නැත්තං පිටරටක. මීටින් එකක.

අද ප්‍රවෘත්ති වලට කියනවා වහලා දානවා කියලා. වෛරස් එක නවත්තන්න බැරි වුණොත් හෙට අනිද්දට අපි මැරෙයි. අපි ඔක්කොම මැරෙයි. එක්කො වෛරස් එකෙන් මැරෙයි. එහෙම නැත්නම් හාමත් වෙලා මැරෙයි.. ලෝකෙ අන්තිම මනුස්සයත් තව මාසෙකට කලින් මැරිලා යයි. මම කොල්ලට කොහොමද කියන්නෙ අපි මැරෙයි කියලා. ඌ තාත්තා එක්ක එක දවසක්වත් ෆුට්බෝල් ගහලා නෑ. දෙයියනේ මම තාම දන්නෙ නැහැ කොල්ලා ෆුට්බෝල් වලට කැමතිද කියලා. අකමැතිනම් මං කොහොමද උගන්නන්නෙ. ඌ මගෙන් අහනවා මැරෙයිද කියලා. දෙයියනේ අපි ජීවත් වුණෙත් නෑනෙ..

පහුගිය අවුරුදු ගාණම මම ජීවත් වෙන්න  ඕන කරන දේවල් හැදුව එක කළේ. එකක් හදනකොට තව එකක්. මොකද හැමදාම අලුත් බෝල, අලුත් ප්ලේයර්ස්ලා, වැස්ස, අව්ව. ජීවත් වෙන්නනං සෙල්ලම කරන්න ඕනෙ කියලා මං හිතාගෙන හිටියා. ආදරේ කරන මිනිස්සු එක්ක ඉන්නනං එහෙම වෙන්න ඕනෙ වුණා. ඒ වෙනුවෙන් මම කැපකළා ඒ මිනිස්සු එක්ක ඉන්න වෙලාව.. එයාලා එක්ක හිනාවෙලා කතා කරමින් ජීවත් වෙන්න ඕන හින්දා එයාලා නිදාගන්න වෙලාවට ගෙදර ආවෙ.  එයාලා එක්ක ඉඳීම වෙනුවෙන් එයාලා එක්ක නොඉඳීම තෝරගත්තා. බුද්ධාගම බේර ගන්න මන්නයක් අතට ගත්තා වගේ.
හැබැයි ඒ අවුරුදු ගාණම මැරිලා මට ලබා  ගන්න බැරිවුණ දේ වෛරස් එකක් දවස් දෙකකින් මට ගෙනල්ලා දුන්නා.
එහෙම නොවුනනම් අවුරුදු 60 වෙනකන් කන්‍යාභ්‍යාවය වෙනුවෙන් සංසර්ගයේ යෙදෙනවා. එහෙනං එදාට මම ජීවත් වෙන්න ලෑස්ති වෙලා අවුරුදු 60ක් !
ඊට කලින් මැරුණොත් ජීවත් වෙන්න කලින් මැරිලා. කවුද දන්නෙ 60 න් පස්සෙත් ජීවත් වෙයිද කියලා.
ඒක වෙන්නැති ප්‍රියා පන්සල් යන්නෙ. ඊළඟ ආත්මෙවත් දිව්‍යලෝකෙ යන්න.

මම දැන් මම ආදරේ කරන මිනිස්සු එක්ක ඉන්නවා. අපි හිනාවෙනවා. කතා කරනවා. විහිලු කරනවා.
 පිට්ටනියෙන් එළියෙ දැන්. ඕන හැමදේම ලබා ගන්න සක්විති රජ වෙන්න ඕනෙමනං සිද්ධාර්ථ එලියට බහීද ?

ඒ පිට්ටනිය කවුරුත් හදපු එකක් නෙමෙයි. කවුරුත් රූල්ස් හදලත් නෑ. මට විරුද්ධ කවුරුත් නෑ. මගේ ටීම් එකකුත් නෑ. බෝල දිණුම් කණු මුකුත් නැහැ. වැටවල් නෑ. කොටු ඉරි නෑ. ඒවා නැ කියන්නෙ දිනුම් පැරදුම් නෑ. බූට් එක නෑ. ඒ කියන්නෙ මූණදාගන්න බෝඩ් එකක් නෑ. නෑ නෑ නෑ...... ඒ හැමදේම හැදුවෙ මගෙ ඔලුවෙ. මං ඒ හැමදේම මැව්වා.. මමම මවාගත්ත පිට්ටනියක මමම සෙල්ලම් කළා මටම හතිවැටෙනකන්..
මේ රෑ ඒ පිට්ටනිය වහනවා.. බෝලෙ පස්සෙන් දුවන්නෙ නැහැ. දැන් ?

තව සතියකින් අපි හැමෝම මැරිලා යයි. හැබැයි මම සතියක් මම ආදරේ කරන මිනිස්සු එක්ක ඉඳලා තියනවා.! දෙයියනේ මට මෙච්චර කාලයක් ඒක ඕන කරලා තිබුණෙ...!!

-------

  - චමල් අකලංක පොල්වත්තගේ

No comments:

Post a Comment