Sunday, March 22, 2020

දීර්ඝ රාත්‍රී කාලය



දීර්ඝ රාත්‍රී කාලයන් කිහිපයක් ගෙවී ගියා. මා සුපුරුදු පරිදි සඳළුතලයට වී රාත්‍රී අහස දෙස බලා සිටියා. වෙනදා මෙන්ම නිවි නිවී දැල්වෙන තරු ගණන ටිකෙන් ටික වැඩිවන බව මම හිතුවා. කුඩා කාලයේ සුදු ආච්චි  කියා දුන් කතන්දර මම මතක් කරනවා. ඇයව කෙසේ සිහියට නැගුනාදැයි නොදන්නාමුත් මට ඇයව සිහිවුණා. මාව උකුළේ තබාගෙන ඇය මට රෑ කෑම කවද්දී අපි අහසේ තරු දිහා බලාගෙන හිටියා. සීයා ගැන ඇසුව දිනක ඇය මට සීයාව පෙන්නුවා. ඇඟිල්ලක් දිගු කර. අන්න අර අතන. ඇය පෙන්නුවේ නිවි නිවී දැල්වෙන තරුවක්. මැරෙන හැමෝම තරුවක් වෙනවා. එයාලා අපි දිහා බලාගෙන ඉන්නෙ. රෑට අපිට පුලුවන් එයාලා එක්ක කතා කරන්න.
මම මැරුණොත් අම්මව බලන්න පුලුවන්. මම එහෙම හිතාගත්තා. මැරෙන මිනිස්සු තරු වෙලා ඉපදෙන්නෙ නැහැ කියලා මට තේරෙනකකොට සුදු ආච්චිත් තරුවක් වෙලා. ඇය මැරුණ දවසෙ ගේ ඇතුලෙ මිනී පෙට්ටිය තියනකොට මම අහස දිහා බලාගෙන හිටියා. සීයා ළඟින්ම තද සුදු පාට පුංචි තරුවක් තිබුණා. ආච්චිගෙ තරු කරාඹු වගේ.
දවසින් දවස ප්‍රවෘත්තිවල මැරෙන මිනිස්සු ගණන වැඩිවෙනවා. අදත් ඊයෙට වැඩිය තරු වැඩියි. අපි මේ ලෝකෙ දකින අන්තිම මිනිස් කණ්ඩායම වෙන්න ඇති. මම ප්‍රවෘත්ති බලන එක නැවැත්තුවා. තේරුමක් නැහැ. පහුගිය අවුරුදු ගාණම  පුංචි වෛරසයක් අපිව ගේ ඇතුලට හිර කරලා. අපි අපේ ජීවිත 
වෙනුවෙන්ම හිරකාරයො කරලා. සමහර වෙලාවට අපේ අසල්වැසියන්ව මහ හඬින් සයිරන් නලා සද්දෙන් ආව ගිලන් රථ වලින් අරගෙන යනවා. ඔවුන් කවුරුත් නැවත පැමිණියෙ නැහැ.
දිනපතා පැය කිහිපයකට ලැබෙන විදුලියෙන් තාත්තා නොවරදවාම ප්‍රවෘත්ති බලනවා. ඔහු මට ඒ හැම දවසකම කියනවා දවසෙ මිනී ගණන. ඇමරිකාවෙ පන්දහයි. චීනෙ දහදාහයි. ඉන්දියාවෙ මෙහෙමයි. අද වෙනකොට ලෝකෙ රටවල් කිහිපයක්ම සම්පූර්ණයෙන්ම වහලා දාලා. හිටපු අන්තිම මනුස්සයවත් සරණාගත කඳවුරු වලට ගෙනිහින්. සම්පූර්ණයෙන් හිස් භූමියක් පමණයි. අඩු තරමෙ බල පෙරේත රටක හමුදාවක්වත් ගිහින් අල්ලගන්න බැරි තරමටම ඒ භූමිය යක්ෂයන්ට සින්න වෙලා.මම දන්නෙ නැහැ ලෝකයට මොකක්ද උනේ කියන්න. නමුත් සියල්ල සිද්ද වෙලා අවසන්. මේ වෙද්දි අපි ඉන්නෙ ජීවත්වෙන දවස් ගණන කිහිපයකින් දීර්ඝ කරගන්න උත්සාහයක කියලා අපි හැමෝම දන්නවා. සමහර රටවල් ඒ උත්සාහය අතහැරියා. සමහරු මොනවාහරි කරනවා. සමහර තැන් අපායන්. මළ මිනී පවා කන ප්‍රවෘත්ති අපි අහනවා. ශශ්‍රීක කාලේ හිටපු සියළු දෙවියන් දේවාල අතහැරලා. මහා ශිෂ්ඨාචාර මහපොළොවට සමතලා වෙලා.
දිනපොත් අවසන්. අන්තර්ජාල සම්බන්ධතා වේගය සීමා කරලා. සමහර සමාගම් වහලා. රජයෙන් ගෙදරට ගෙනල්ලා දෙන ආහාර සලාකය කාලා නිදාගන්නවා ඇරෙන්න කියලා මම හිත නිවාගන්න කලේ චෝක් කෑලි වලින් කොලවල කුරුටු ගාපු එක. එහෙම නැත්තං කෙට්ටු වෙලා ගිහින් ඉන්න බළල් තඩියා එක්ක සෙල්ලම් කරපු එක. විදුලිය ලැබෙන වෙලාවට බලපු චිත්‍රපටි නැවත නැවත බලපු එක. යාලුවෙක්ට දුරකතනයෙන් කතා කරපු එක.
ඔය හැමදේටම වඩා සහනයක් ගෙනාවෙ ආහාර සලාකය ගෙනල්ලා දෙන නිලධාරියට කියලා වැඩිපුර කීයක් හරි දීලා ගෙන්නගත්ත දුම්වැටි අරගෙන, ගෙදර අය නිදාගත්තම සඳළුතලයට වෙලා තරු ගණන් කර කර දුම්බොන එක. මේ සියළු දේ අතහැරලා සියදිවි නසාගන්න හිතුන වාර අනන්තයි. මම හිතන්නෙ මේ වෙද්දි රටේ එහෙම නොහිතුන කවුරුත් නැතුව ඇති. නමුත් ගෙදරක මරණයක් වෙනවා කියන්නෙම ඒ ගෙදර හැමෝටම වසංගතය හැදුණට වැඩිය කරදරයක් කියන එක දන්න හැමෝම ඒ අදහස අතහැරියා..
මම සිගරට්ටුව දල්වාගත්තා. ගෙදර හැමෝම නිදි. සුදුපාට දුම් ගුලි අහසට යවමින් ගණනින් වැඩිවෙවී දැල්වෙන තරු දිහා බලාගෙන හිටියා.
පුතා !
තාත්තගෙ සෙම බැඳුන බර කටහඬ...!!
මම සිගරට්ටුව බිම දැම්මා. බිමට වැටුණෙ නෑ. මගෙ දකුණු අතේ ඇඟිලි දෙකක් අතරෙ තාම තියනවා. දුම ඉහළට එනවා. මම නෑ බිම නොදැම්මෙ ඇයි කියලා. මගෙ නාස් කුහර වලින් දුම යනවා තාම. එයා මම දිහා බලාගෙන ඉන්නවා. අපි දෙන්නා එහෙම බලන් හිටපු වෙලාව තත්පර ගාණක් වෙන්න ඇති. ඒත් ඒක ගොඩක් දිගයි. එයා කවදාවත් මං ඉස්සරහ සිගරට් එකක් බීලා නෑ. මම දැකලත් නෑ. මම ඒ ගැන අහලත් නෑ. අරක්කු ගැනත් එහෙමයි. මම දුම්බොනවා කියලා ගෙදර අයට කියන්න මට ඕනකමක් තිබුණෙ නෑ. මොකද එයාලා සතුටු වෙනවා මං එහෙම නොකරනවනං. ඉතින් මම මොකටද ඒක නැති කරන්නෙ. එයාලා කැමති කිසිම දෙයක් නොකරපු කෙනෙක් විදිහට මට ඒකවත් කරන්න පුලුවන්. පොඩි කාළෙ නිදාගන්න තාත්තා නැතුව බැරිවුණාට, පස්සෙ මට හිතුනෙ ඔහුගෙන් මම ඈත්වුණා කියලා.
මම බිම බැලුවා. ආයෙ තාත්තා දිහා බැලුවා. අහස දිහා බැලුවා.
තාත්තා මං ළඟට ආවා.
කොච්චර කාලයක්ද දැන්..?
ගොඩක්..!
හුස්මක් පහළට දාන ගමන් මම කිව්වා...
තාත්තා අද දිගු කළා..
මම තාත්තගෙ අතට දුම්වැටිය දුන්නා...
මම දිහා මොහොතක් බලන් ඉන්නැති. ඔහු තොල් අතර දුම්වැටිය තියලා තදින් පපුව ඇතුළට ඇද්දා....!
මම මොකක්ද කියන්නෙ..
තාත්තා ඒ දුම්, එළියට දැම්මෙ කැස්සකින්. ඔහු පපුවට අත තියාගෙන කැස්සා.. මම ඔහු ළඟට ගියා.. ගැටළුවක් නෑ කියලා අතින් සංඥා කරලා දුම්වැටිය නැවතත් තොල් අතරට අරන් පෙරටත් වැඩිය තදින් පෙණහළු පුරවගෙන මගේ පැත්තට හැරුණා...දුම් වලාවක් පිටකලා..
මම බලාගෙන හිටියා..
ඔයාගෙ වයස...!!
තාත්තා හිනාවෙනවා..
මට තාම මේ වෙලාව හීනයක් වගේ...
මම ඔහුගෙන් ඇහුවා " මොකක්ද ...? "
ඔයාව හම්බුණ දවසෙ නැවැත්තුවෙ...!
තව තියනවද ?
ඔව්...
එකක් පත්තු කරගන්න...!
මම කාමරෙන් දුම්වැටි පෙට්ටිය ගෙනල්ලා තව දුම්වැටියක් පත්තු කළා...
තාත්තා සඳළුතලයේ වැටට අත තියාගෙන අහසට දුම් ගුලි යවනවා.
මම ඔහු ළඟින් හිටගත්තා..
මේ අහස පේන්නෙ තව ටික දවසයි...
ඔහු හිනාවෙලා මගෙ පිටට අතින් තට්ටු කළා..
අර සම්බන්ධෙ තාම තියනවද..?
මො..මොකක්ද...
අම්මනං ඉස්සර.......

  - චමල් අකලංක පොල්වත්තගේ

2 comments: