Saturday, January 20, 2018

කොට්ටාව මාලබේ..


මාලබේ සිට කොට්ටාවට යන බසය කොතරම් වේගයකින් ගමන් ගන්නේදැයි කියනවානම් මේ දැන් බස් එක පහු කරගෙන අලු පාටට හුරු කහපාට පූසියෙක්ද ඇවිද ගිය අතර ඇය බසය පෙන්නා ඇගේ පැටවුන්ට "ඥාව් ඥාව්.. ඥව් ඥ ඥ්ව් ඥ්ව් ඥාආආආව් " (  අර බලන්න ගාෆීල්ඩ් පුතේ තඩි ගොලුබෙල්ලෙක් ). කියා කිව්වාය.  නෑ නෑ මට නෙමෙයි බස් එකට.

අම්මා කිව්වේ මට අපලෙට කවුදෝ ග්‍රහයෙක් ඇවිද්දෝනවා කියාය. මා හිතුවේ හංදියේ ජිම් එකට ගොස් අපලේ ගෙවී යනකන් ට්‍රෙඩ්මිල් එකක දුවන්නය. දැන් අව්ලක් නැත. රියදුරු දෑතට දෙයියන්ගේම පිහිටෙන් අද ඒ අපලෙත් බස් එකේම ගෙවී යනු ඇත.

ඇතැම් විට මා කොට්ටාවට යන විට සිරිසේන ජනාධිපති තුමා කොලේ අලවාගෙන ඇඟ පිහදාගෙන හොරු, මිනීමරුවන් ,විදුහල්පතිනිය දණ ගැස්සූ මහ ඇමැටියා ආදී හැලපයන් අල්ලා උන්ට දඬුවම් කර උන් අවීචි මහා නරකාදියේ ආපිකෝ ලෝදිය ටැංකියක තේ පැකට් එකක් මෙන් ඉහළ පහළ දමනා ආකාරය හැරී පොටර් චිත්‍රපටයේ ආකාරයේ වීඩියෝ ප්ලේ වෙන ඩිජිටල් පත්තරේකින් බලමින් සිටිනු ඇති අතර  ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවක්ද පිහිටුවා තිබෙන්නටද හැක හැක හැක.
මහින්ද රාජපක්ස මහතා මේ ආණ්ඩුව පෙරලා අගමැති වී සිටින්නටද හැක හැක හැක හැක හැක. එසේ වී තිබෙනවානං ඉතින් මට කොට්ටාවෙන්  බහින්නට සිදුවන්නේ මහින්ද රාජපක්ස අන්තර්ජාතික බස් නැවතුම්පොළෙනි. පසෙකින් ප්ලෑස් මෙන් ගමන් ගන්නා මහින්ද රාජපක්ස අන්තර්ජාතික විදුලි දුම්රියක්ද තිබිය හැකි අතර විදුලියෙන් යද්දී දුම් යන්නේ නැති නිසා එයට විදුලි දිග රිය, විදුලි පෙට්ටි රිය හෝ විදුලි කෝච්චිය වැනි නමක් යොදාගත හැක.

තේඒඒඒඒඒඑරුම් ගියොත් මම නිදොස් යැයි කියා..
වේඒඒඒඒඒඒගෙන් යලිත් එන්න මා වෙත ඔයා..

දැන් ප්ලේ වෙන්නේ ඒ සින්දුවය. මං හිතන්නේ එක්කෝ එය කියන්නේ ෆ්ලෑස් ය. නත්තං උසේන් බෝල්ට් ය. පෙම්වතිය දමයන්ති දර්සා හෝ සුසන්තිකා ජයසිංහ විය හැක.. ඔය එය ප්ලේ වෙන හයවෙනි හෝ හත් අට වෙනි වතාව විය හැකි අතර කොට්ටාවට යන විට මහ බැංකු බැඳුම්කර වංචාවේ අලාබයට වැඩි ප්‍රමාණයකින් එය ප්ලේ විය හැක. ඒ ගීතය අසා පැහැදී හිත සතුටින් බස් එකේම මිය යා හැක. නැවත මේ බසයේම ඉපිද "පූඌඌඌඌඌඌඋජා කරන්නම් මලක් උයා නමිංං.." ගීය අසා නැවත මිය යා හැකි අතර. මා මල පසු බස් එකේ

"  මියයන්න සූදානං සිංදුව අහන්..
වළලන්න එනවාද සවලක් අරන්.."

ගීය ප්ලේ කළ මැනවි.  අවසානයේ සාරසංකයේ කල්ප ලක්සයක් පෙරුම් පුරාගෙන සංසාර චක්‍රයම මේ බස් එකේ ඉපිද මැරි ඉපිද මැරී බස් එක කොට්ටාවට යන්නාවූ දිනෙක මෙතේ බුදුන්ගෙන් බණ අසා නිවන් යා හැක. ලස්සන අක්කලා නම්ගිලා ඇන්ටිලාට බාගෙ ටිකට් කැඩු පුන්‍ය කර්මයේ මගිමයෙන් කොන්දාට ද තව්තිසා එක්ස්ප්‍රස් දිව්‍ය රථ සේවාවට අධිගෘහිත දෙයියා වී ඉපදිය හැක.

ඒ මොහොතේම කිරිබත්ගොඩට ආ 154 බසයක් දෙස ඔබ හොඳින් බැලුවොත් අඟුලානෙන් නැග මා ලෙසම අර කල්ප ලක්සය පෙරුම් පුරා නිවන් ගිය මගියන් සෙට් එකක් හමුවිය හැක.

#අකලංකාරය
  - චමල් අකලංක පොල්වත්තගේ

4 comments: