Tuesday, January 16, 2018

සරලාභිධාන නරේන්ද්‍ර මෙත්පල් ස්ත්‍රී සුරා කතාවත්තුව

සරලාභිධාන නරේන්ද්‍ර මෙත්පල් ස්ත්‍රී සුරා කතාවත්තුව

පෙර ටසිරිලක ශාක්‍යාහෝල්ඩිංසායට පෑයූ ප්‍රියන්ත මහෞල්පතගමයාණන් මෙන්  සරලාභිධාන නරේන්ද්‍ර මෙත්පල් මහරාජාණන් වහන්සේ රාජ්‍ය විචාරන්නාහ. සරලභාවයේ ඩේවිඩ් ප්‍රථිමාව මෙන් ටසිරිලක පාලනය කරන්නාවූ නියා මහාසියානු අධිරාජ්‍යයේ ඈස්චර්‍යය ලෙසින්ද සකල සක්වලම හැඳිගානා කරවල හොද්දක් මෙන් කළඹමින් නරේන්ද්‍ර මෙත්පල් නිරිඳානෝ ටසිරිලක ජනී ජනයා සුවෙන් මුසපත් කරමින් කාබෝහයිඩ්‍රේටාදි සුක්‍රෝස් ග්ලූකෝස් පෘක්‍රටෝසාධී සීනී වර්ගයෝ ඇති මෛලෝධී අරිෂ්ඨයෝද තහනම් කරමින්ද සකල ටසිරිලක හෙළ ප්‍රාග්ඓතිහාසිකාදී සංස්කෘතිය රැකගනුවසු තිසරපට අන්දමින් ද සමෘද්ධිමත් කරමින් සොරු අල්ලමින් මහාභාණ්ඩාගාර නංවමින් රාජ්‍ය විචාරන්නාහ.

මේ'තර තුරදී දිනෙක රන්සළු නොපළඳා ඉර ඇති වේලාවේ නරේන්ද්‍ර මෙත්පල් නිරිඳානෝ සිය සරල බජාජ් ත්‍රීවීලරයෙන් රාජකාරිය සඳහා පිටත්වයන කල්හී මහමගෙහි කතුන් දෙදෙනෙකු කෙස්වලු පටලවාගෙන පහරදීගනු දුටුවාහ..
එතුමාණෝ සිය රථාචාර්‍යා අමතා "කොලුව අර ගැහැණුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකු මෙන් හිටං මරාගන්නේ මන්දැයි.. ඇසුවාහ..
ස්වාමීනී ඕකුන් සුරා පානය කර ඇත්තාහ.. ඉදින් ඒ නිසාවෙන් පහරදී ගනිති යි කිව්වාහ.
මෙසේ ඉදිරියටම ඇදෙනා කල්හී සෝභිතපාලම මත සිය නිල ත්‍රීරෝද රථය ඉදිරියට ළඳක් පැන්නාහ. බියවී ඇය පසෙක පැනලබනාතර සලාං යන හඬින් යමක් වැටුනාහ. නංගි මා ගොවියෙකුගේ පුතෙකු නිසා තී මෙසේ ගණනකට නොගෙන පැන්නාදැයි කියා අසනාතර බිඳීගිය ගල් භාගයක් දුටුවාහ.
අහෝ මා නම් පංචශීලය සුරකින්නාවූ නරේන්ද්‍රයෝ වූ නමුත් මාගේ රටවැසි කතුන් උගුඩුච්චියෝ මෙන් සුරාපානයෙහි නියුත්තෝය කියා සිය ළයෙහි අත හොවා රථාචාර්‍යාට යාමට සන් කලාහ.
මෙසේ නේක නේක ස්ත්‍රීන් ගෝඩා බැරලයට බට වඳුරන් මෙන් මත්වී සිටින්නාවූ නියා පිළිබඳ තතු මෙත්පල් නිරිඳානන්ගේ කණවැකෙන්නට වන්නාහ. ඒ ඒ සිද්ධීන් ගැන ඒ ඒ සඳැස් වල  ලියවෙන්නට යෙදුනාවූ ඒ ඒ කවි කතා පුස්කොල පුවත්පතෙහි දුටුවාහ.

සරා සළෙලු කත විගසේ
සුරා පාන කරන ලෙසේ
ගෙදර යන ගමන් සතොසේ
විස්කි රැගෙන යයි සිතුසේ..

රැගත් සුරා පිරූ විතින්
සුරත් තඹරු පෙති දෙනෙතින්
පුවත් නොදැන බමන මතින්
නටත් ගෑණු සුරා මතින්...

දස අත් සුරහල් සිරිලක දිලෙනා
අඟනුත් ඒ වෙත නොනැවති ඇදෙනා
සිතිනුත් ගතිනුත් මත් බව රැඳුනා
නොදනිත් දරුවන් ඇකයෙන් වැටුනා...

පෙරව සැප කිරණ නැගි ගත සිත සනමින්
පරව දුක ශෝක ගිලි දියතලා පිටින්
තරව සිහි ඇතිව සොට් එක දමන ලෙසින්
කරව පියාසර නංගී සුරා සැලෙන්...

නෙක ගෑණුය පුර පැමිණිය බාරයට
නොව සැඟවිය වෙනදා මෙන් සිටි ලෙසට
ගරු කරමිය පරපුරටම මංගලට
ඇල්කොහොලය වදු ඇයගේ ගත සිතට...

හිමි ඔබ සයුර මැද රුදු සටනකය රැයේ
පොල් අතු පැලේ මම තනියම සිටිමි බියේ
ඇතිමුත් සොට් එකක් දමනා හැඟුම් ළයේ
ඔබ එනතුරු ඉන්නම් මම නොබී ප්‍රියේ...

මේ ආදී කවි කතන්දර දුටු ඇසු සරලාභිධාන නරේන්ද්‍ර මෙත්පල් නිරිඳානෝ සිය සරල හාන්සි අස්නෙන් හිටං පෙට්‍රල් බූලියට බට ගැරඬියෙකු විලස කෝපාග්නියෙන් දැවි දැවී " ආණ්ඩුක්‍රම ව්‍යවස්ථෝපිත ස්ත්‍රී පුරුෂාධී සමානාත්මතා වස්ත්‍රයෙන් මට ඇති ඵලක් නැත්තේය... මේ ටසිරිලක දෙදහස් පන්සිය වසරක මහා සංස්කෘතිය පුරා කතුන් සිටියේ නම් ඒ පුරුෂයාගේ යටතේමයැ.. ඉදින් සුරා පානය නම් පුරුෂයන්ගේ කටයුත්තක්මයැ. ස්ත්‍රියක් දූෂණය වී කුසට ඇතුළු වන දරුවා ගබ්සාව සඳහාද ඇයටාවසර නැත්තේමය. දරුවන් හැදීමද පුරුෂ තේරීමක්මයැ. සළු ඇඳීමේ දිග ප්‍රමණද.. වෛවාහක සබඳතාද එසේමයැ. ඉදින් බටහිර අධිරාජ්‍යවාදීන් ගේ ස්ත්‍රී සමානාත්මතාවන් වලට මිත්තණියට අරලිය සම්බා ගරපාන් හිටං. මා සුරා පානය නොකරන්නේනම් රටවැසියාටද එය කල නොහැක්කේමයැ. ප්‍රචාචන්ත්‍රවාදී මෑණියන්ගේ වස්ත්‍ර ගලවමියි..."" කියා.. වහා ගැහැණුන්ට සුරා පානය අහෝසි කරන්නැයි කියා එය අනුමත කළ අමාත්‍යාට බැන තර්ජනය කළාහුය..

මේ කරුණුනම් ඇසූ ටසිරිලක ස්ත්‍රීහු නවක වදය අහෝසි කරන්නැයි ඉල්ලා පැමිණෙන අන්තරය මෙන් ලිප්ටන් චතුරශ්‍රය දක්වා පැමිණෙන්නට යෙදුණාහ.
මෙය ඇසූ නරේන්ද්‍ර මෙත්පල් නිරිඳානෝ රැජිණි කාන්තයාණන් මෙන් සිය සරම තෙවරක් වලාපට ගසා ඩේයි විඩමාට්ටා... කියා ලැම්බෝගිනියක් මෙන් නික්මුණාහ.

ඈත දූලින් වස වසා සුරා පානය කර මත්වී ඇදෙනා ස්ත්‍රීයෝයැ.
මෑත ලිප්ටන් චතුරශ්‍රය සනහ සනහා වඩිනා මෙත්පලානෝයැ..
ඈත ස්ත්‍රී වීම නිසාම ප්‍රජාතන්ත්‍රවාදය නැත්තේමදැයි කිය කියා ඇදෙනා ස්ත්‍රියෝයැ..
මෑත ප්‍රචාචන්ත්‍රවාදෙට මිත්තණියට හාල් ගරපන් හිටං කියා ඇදෙනා මෙත්පලානෝ යැ
ඈත සිය තිසරපට ගලව ගලවා දමමින් ඇදෙනා ස්ත්‍රියෝයැ
මෑත සිය මඩු වලිගය වන වනා ඇදෙනා මෙත්පලාණෝයැ.
ඈත සුරාපානය කර රත් පියුම් මෙන් රක්ත වූ නෙතින් ඇදෙනා ස්ත්‍රීයෝයැ.
මෑත අවිහිංසක ළඳරුවෙකුගේ මෙන් මොළකැටි දෙනෙතින් බල බලා සංස්කෘතිය රැකුමට ඇදෙනා මෙත්පලානෝ යැ.

ඉදින් ලිප්ටන් චතුරශ්‍රයට බට කල්හි ස්ත්‍රියෝ නරේන්ද්‍ර මෙත්පල් නිරිඳානන්ට සිය අතරැඳි ගල් බෝතලයෝ ඔසවා විරෝධය පාන්නාහ.
මෑත ආරක්ෂක සේනාවෝ කඳුළුගෑසාධියෙන් සන්නද්ධව මෙත්පල් නිරිඳානෝ රකිනු නියා බලා සිටින්නාහ.
අහෝ මහා අරුමෙකි.

මෙත්පල් නිරිඳානෝ දුටු කල්හී පෙර බඩ බැඳි පරමාණු බෝම්බ ඇත්තියන් මෙන් සිටි කතුන් නිහඬව මහමග හිඳ තිසරපට යලි හැඳ සාධුකාර දුන්නාහ..

මෙත්පලානෝ පැමිණ..

අයුක්තිය අසාධාරණය රජ කරන ටසිරිලකක ධවල රථ මිනීමරුවන්, සොරුන් අල්ලා ගස් බැඳ ගුවන්තොට වසා , සංස්කෘතිය රකිනු නියා මඩුවලිගය අතට ගත් සරලාභිධාන නරේන්ද්‍ර මෙත්පල් මම වෙමි.. නාන් ඔරු දඩව සොල්ලාර් නූර් දඩව සොල්ල මාද්‍රී හිටං..
ඉඳි ටසිරිලක සඟිස්කෘතිය නම් යහපාලනා සමයේ පොල් ගෙඩියක් මෙන් වටිනා දෙයකි. විජේකලා මං දුප්පත් ගොවි පුත්‍රයකු මුත් හදවතින් සුරාවෙහි විරුධ්ඩ්වෙමි...
ඉදින් කතුන් සිටිය යුත්තේ කුණු මුල්ලේමයැ. ප්‍රජාතන්ත්‍රවාදය මහින්දෝත්තමයන් පරාජය කිරීමට පමණක්‍යැ. සමානාත්මතාව ව්‍යවස්ථා කරදහියේ තිබුණාම ඇත්තේය.
ඉදින් තොප යලිත් බී නම් මා කඩුව අතට ගන්නේමයැයි... පා සොලවා සිංහනාද කළාහ. ඒ පා පහ වැද ලිප්ටන් චතුරශ්‍රය වෘත්තාකාරව වටරවුමක් බවට පත්වූවාහ.

මෙබස් අසා මත්ව සිටි අඟනෝ දහසක් මහානුභාව සම්පන්න මහරහත්ඵලයට පත්ව එතැනම නිවන් ගියාහ..
අනෙක් අඟනෝ සෝවාන් වූවහ.
අනෙක් අඟනෝ සුරා බෝතල් තු තූ කර සාධු කාර දී යලිදු මත්වන්නේනම් සුරාගන්නේනම් ඒ පුරුෂයෝ පමණි. පින් කෙත හෙළ රන් දෙරණේ මනුෂ්‍යයය හිමිකම් රක්නා ඔබතුමාණන් වහන්සේ වන් බයියාණන් වහන්සේලා තව තවත් පහළ වේවායි සත්‍ය ක්‍රියා කර නික්මුණාහ..

සරලාභිධාන නරේන්ද්‍ර මෙත්පල් ස්ත්‍රී සුරා කතාවත්තුව නිමියේයැ.

#අකලංකාරය
  - චමල් අකලංක පොල්වත්තගේ

4 comments:

  1. හම්බෙ.. ඒක නම්...

    ReplyDelete
  2. Going crazy...flies will die!!!

    /ඒ පා පහ වැද ලිප්ටන් චතුරශ්‍රය වෘත්තාකාරව වටරවුමක් බවට පත්වූවාහ./

    ඈ බොල පොලෝ...ලිට්ටං එක කොහොමත් වටරවුමක්නෙ තිබ්බෙත් (Lipton Circus)...මම හිතන්නෙ පා පහර වැද වටරවුම තුන්හුලස් වුනා වෙන්ටෝන...නේ?

    ReplyDelete