Saturday, January 6, 2018

බෙඩ් සීට්

අද ගෙදර එන විට අම්මාගේ මුහුණ දැක මට හිතුනේ බැඳුම්කර කොමිසන් වාර්තාවේ තිබී ජනාධිපති තුමා විසින් මගේ නමවත් කියා ඇත්දෝ කියා ය. කෙසේ හෝ ඇගේ මූඩ් එක අප්සට් නිසා බීලා ගෙදර ආ පුතෙකු මෙන් ( මම සුරාවෙන් සූදුවෙන් තොර පෝන් එක, ඇඳිවත දේපල හිමි බොදු ගොවි දැහැමි එකම පුතු යැ. වරදවා නොසිතන්න ) සද්ද නැතුව ඉන්නා විට අම්මා පැමිණ මගෙන් ඇහුවේ දන්නවද අද වෙච්ච වැඩක් කියා ය.

මම නෑ නෙ අම්මේ කියා කිව්වෙමි.

ඈ කතාව පටන් ගත්තේ මා දෙස රවාගෙනමය..

අද ගෙදර පුරාම කුණු මාළු ගඳයි උදේ ඉඳන්.. ඉතින් මම හැමතැනම බැලුවා සතෙක්වත් මැරිලද කියල. හොයලා බලනකොට බාතෲම් එක එහාපැත්තෙ කාමරේ තිබිලා හම්බුනේ. ( ඇඟිල්ල දිගුකර පෙන්වයි ) අන්න මං එලියෙ ටැප් එකෙන් හෝදලා අව්වෙ දාලා වේලලා දැම්මා..
ආයෙ කරලා තිබ්බොත් දනී මං කරන දේ කියා ඈ ගියේ මා පොඩි කාලේ ගමේ ගෙදරක බෙල් එක ගසා දුවගොස් මාට්ටු වූ විට බනිනා ආකාරයෙනි..

කියන්න සතුටුයි ආදරණීය ඡන්ද දායක හිතෝතුනි. උන්ගේ දුවා දරුවනි..

ඒ හෝදන්න කියා වතුර බාල්දියට සෝදන කුඩු සමග දමා තිබූ මාගේ සිරියහනේ බෙඩ් සීටයයි..
එය අවුරුද්දක් එහි තිබී ඇති අතර මා එය හෝදන්න දැම්මේ ද අලුත් අවුරුද්දේ කුණු ජරාගොඩේ නොඉඳ කාමරේ අස්කරගන්නවා කියා අම්මා තර්ජනය කල නිසාය. වාර්සික බෙඩ් සීට් සෝදන දිනය දෙසැම්බර් 31 වෙනිදාය.

දැන් මට තිබෙන ප්‍රස්නය මෙයයි.

රාජගිරියේ ගුවන් පාලම මහජන මුදලින් හදා විවෘත කල පසු එය වටකර සිරිසේන උන්නැහේගේ සහ වික්‍රමසිංහ මහතැන්ගේ පොටෝ ගසා ජල්ලි අල්ලා පාලම අපේ කියා ඡන්දෙ ගැනීමට නැටීමට සූදානම් වන්නේ වඩිග පටුනද.. කොහොඹා කංකාරියද..
නෑ අපෙ හාන්දුරුවනේ පාලම හැදුවේ මහින්ද මහත්තයගෙ කාලේ කියා ඒ නැටුමට පොහොට්ටු බයියන් පැන නැටීමට හදන්නේ කිරි කොරහද තෙල්මෙද..

එතකොට ඒවා බල බලා ඒ ළඟම ඇති මැතිවරණ කොමිසම සිදු කිරීමට බලාපොරොත්තු වන්නේ කුමක්ද..

ජාතික රූපවාහිනිය සිරිසේන කලා කියාද ස්වාධීන රූපවාහිනිය රනිල් කලා කියා බෙදාගෙන එය විකාසය කරනවාද..

මම නං කියන්නේ ඔය එකෙක්ටවත් එන්නෙපා කියා මැතිවරණ කොමසාරිස් තුමා ඕක විවෘත කර මැතිවරණ සමයේ දේසපාලුවන් විසින් ජනතාව ගොනාට ඇන්දීම ගැන ජාතිය ඇමතිය යුතුය කියා ය..

ඔව් බෙඩ් සීට් එක හොඳට තියනව..
දැන් මොකක්ද කියන්නෙ ඉතින්

#අකලංකාරය
- චමල් අකලංක පොල්වත්තගේ

2 comments:

  1. ඔච්චර ගඳ සිතියම් සහිත බෙඩ් ෂීට් එකක් නිසා විය යුතුයි !

    ReplyDelete