Saturday, December 17, 2016

රජවරු පොරවල් ද ??



රජවරු පොරවල් ද ??

ඔබ ගේම් ඔෆ් ත්‍රෝන්ස් කතා මාලාව නරඹා තිබේද.. තිබේනම් එහි ජොෆ්‍රිව හෝ සර්සිව මතක් කරගෙන මෙය කියවන්න..
( නරඹා නැතත් ගැටළුවක් නැත )

ලංකාවෙ මිනිස්සු හරි කැමතියි වහල්ලු වගේ ඉන්න. නිදහස් චින්තනය උපරිමව තියන බෞද්ධ දර්ශනය පිළිගන්න බහුතරයක් හිටියට ඒ අතරින් ශාතිශය බහුතරයක් නිදහස් චින්තනය කියන්නෙ මොකක්ද කියලවත් දන්නෙ නෑ.. දේශපාලන නායකයෙක්ට.. එහෙම නැතිනං දේශපාලන ප්‍රතිපත්තියකට.. ඉතිහාසෙට. ආගමට ජාතියට බැරිම උනොත් ග්‍රහයෙක්ට දෙවියෙක් ට බූතයෙක්ට හරි වහල්ලු වෙලා ඉන්න කැමතියි.. 
මේ වගේ හැමදෙයක්ම කිසිම විමසා බැලීමක් නැතුව.. විචාරයක් නැතුව. විරුද්ධ මතවාද කිසිම දේකට ඇහුම්කම් දෙන්නෙ නැතුව. කොන්දේසි විරහිතව හරි උනත් වැරදි උනත් එකඟ වෙන මානසිකත්වෙකින් ගොඩක් දෙනෙක් ඉන්නෙ.. ඒ වගේම ඒ අයගෙනුත් බහුතරය මේ වහල් වෙලා ඉන්න දේකට විරුද්ධ මතවාදයක් ඉදිරිපත් උනොත් ඒ කඩු පොලු මන්න අරගෙන එයට විරුද්ධ වෙන ගෝත්‍රික මානසිකත්වෙක ඉන්නෙ..

අපි කතා කරමු රජවරු ගැන.
ලංකාවෙ රජෙක් කියලා කිව්වම තියන තත්වය පොඩ්ඩක් හිතන්න.. ඓතිහාසිකව මහා වටිනාකමක් ලැබුණ වන්දනීය පෞරුෂයක් විදිහට තමයි රජවරු සැලකෙන්නෙ ලංකාව ඇතුලෙ. සමහර අය දේවත්වයට පවා ලක් කරලා වන්දනාමාන කරනව අදටත්..
ඇත්තටම රජවරු කියන්නෙ කවුද..

ඉස්සරම ගෝත්‍රික ජනාවාස තියෙද්දි තමන්ගෙ රැහැ බලාගන්න නිරායාසයෙන් පත් වුන ශක්තිමත් මනුස්සයා නායකයා බවට පත් වෙනවා.. පස්සෙ ඒක ගාමනී ගම්පති වගේ තනතුරු එක්ක පරිණාමය වෙලා රජ කියන තැනට එනවා..

රජෙක් කියලා කියන්නෙ ඇත්තටම මානව සමාජයේ වහල් කමේ ගෝත්‍රික කමේ කන්නාඩියක් වගේ.. රජෙක් කොයිම වෙලාවකවත් පූජනීය වෙන්නෙ නෑ ( ඔව් එහෙම අය ඇති. ප්‍රතිශතයකට ගන්න බැරි ගාණක්) 
රජෙක් කියලා කියන්නෙ අසාමාන්‍ය පාලන බලයක් තමන් වටා ඒකරාශී කරගෙන හිටපු අතිශය දරුණු පැසිස්ට්වාදී ඒකාධිපතියෙක්.. කොටින්ම රජෙක් උදේ නැගිටින මූඩ් එක අහිංසක මිනිස්සුන්ගෙ ජීවිත පවා තීරණය කරන තරම් පහත් තත්වෙක තිබ්බෙ..

අපේ අය හරිම කැමතියි අපි අහවල් රජ පරම්පරාවෙ.. ඒ රජා අපේ නෑයෙක් වගේ කතා කියන්න.. ගොඩක් අය රජවරු ගැන ලොකු කතා කියද්දි හිතන් ඉන්නව ඒ කාලෙ ඔක්කොම මිනිස්සු රජවරු වගේ ඉන්න ඇති කියලා..
ඇත්තම කතාව ඔබ දුප්පත් ගැමියෙක් වෙන්න පුළුවන් රජතුමාගෙ අන්තඃපුරේ ට තමන්ගෙ බිරිඳව පූජ කරපු.. එහෙම නැත්තං බලෙන් අන්තඃපුරේ ට ඇදගෙන ආපු කාන්තාවක් වෙන්නත් පුළුවන්..

උදාහරණයක් විදිහට රජෙක්ට පුළුවන් තමන් දකින ඕනම කාන්තාවක් දූෂණය කරන්න.. ඒකට දූෂණය වචනය දැම්මම රජතුමා ස්ත්‍රී දූෂකයෙක් වෙන හින්දා අන්තඃපුරය කියලා එකක් ගොඩනගලා ස්ත්‍රී දූෂණය රජෙක්ගෙ නිල අයිතියක් බවට පත් කළා.. එතකොට ඔබ ඒ කාලෙ හිටියනං ඔබේ අම්මව. ඔබේ බිරිඳව ඔබේ සහෝදරියව. කොටින්ම තව්හිඩ් ජමාත් වගේ රජතුමා ඉල්ලුවොත් ඔබේ යන්තම් උස්මහත් උන දියණියව උනත් නිල වශයෙන් දූෂණය කරවන්න යවන්න වෙනවා.. ඒක කොන්දේසි විරහිතයි. අකමැති උනොත් ඔබට ඔබේ බෙල්ලෙන් වන්දි ගෙවන්න පුළුවන්.. ඒ කාලෙ හිටපු අසරණ නූගත් මිනිස්සුත්  ඒක රජතුමාට ලැබුණ වරමක් කියලා හිතාගෙන අකමැත්තෙන් හරි ඉෂ්ට කළා.. දහස් ගාණක් තාත්තලා අයියලා පෙම්වතුන් ස්වාමින් විරුද්ධ වෙලා දංහෙඩියට බෙල්ල තියන්නැති.. අරං යන ගෑනු ළමයි කොහොම දුකක් විඳින්නැද්ද හිර කාරියො වෙලා රජාගෙ අන්ත්ඃපුරේ.. ගෑනු පන්සීයයි දාහයි ලක්සයයි කිය කිය ඉතිහාසෙ වර්ණා කරන මේ හිරගෙවල් ඇතුලෙ කොයි තරන් කඳුළු තියෙන්නැද්ද.. රජවරු කියන ජාතිය ඒ තරම් පහත් තත්වෙක හිටියෙ.

ඒ වගේම තමයි රජතුමාගෙ කැමැත්ත මත තමයි මිනිහෙක් ගෙ ජීවිතය මරණය තීරණය උනේ.. ඕකව මරපං කිව්වොත් මරන්න වගේම ඕනම මිනීමරුවෙක්ට හොරෙක්ට අපරාධකාරයෙක්ට ඇතෙක් බරට වස්තුව දෙන්න.. අහිංසක ගැමියන් වගා කරගෙන හිටපු ඉඩම් ගම්වර පිටින් පවරලා දෙන්න පුළුවන් තත්වයක් ඒකාලෙ තිබ්බෙ. රජකම වෙනුවෙන් තමන්ගෙ තාත්තව සහෝදරයව මිතුරව පොඩි දරුවෙක්ව උනත් මරන්න පුළුවන් ම්ලෙච්ඡ තිරිසන් තත්වෙක හිටියෙ..

කාශ්‍යප.. ඇහැලෙපොල පවුල මරපු ශ්‍රී වික්‍රම රාජසිංහ හොඳම උදාහරණ..

මිනිස්සු කීයක් මරන්න ඇත්ද
කී දෙනෙක් හිංසනයට ලක්වෙන්න ඇත්ද.
පිරමීඩ චීන මහා ප්‍රාකාර ටජ්මහල් සීගිරිය වැව් වගේ ඉදිකිරීම් වලට තමන්ගෙ සුවපහසු මාලිහා හදන්න වහල්ලු විදිහට මිනිස්සු කීයක් යොදාගන්න ඇත්ද බලහත්කාරයෙන්... මොන මනුස්සයද අව්වෙ කර වෙවී කළුගල් කඩන්න එන්නෙ.. ( එන්නත් ඇති සමහරවිට වහල් මානසිකත්වෙ හින්දා )
සමහර රජවරු නීති පවා දාලා තිබ්බා මිනිස්සුන්ට ටිකක් ලොකු ගෙයක් හදන්න එපාය.. වහලෙට පොල් අතු පිදුරු විතරක් දාන්න කියලත්..

පොඩ්ඩක් හිතන්නෙ එක රජෙක් ගෙ හිතේ ඇතිවුණ තණ්හාව හින්දා වෙච්ච ආක්‍රමණ වලදි අන්තිම අහිංසක මිනිස්සු පොඩි දරුවො මිලියන කීයක් මැරෙන්න ඇත්ද ලෝක ඉතිහාසෙ.. ස්ත්‍රීන් කීයක් දූෂණය වෙන්න ඇත්ද..ලංකාවෙ ඉන්දියාවෙ යුරෝපෙ ඉඳන් එංගලන්තෙ ස්පාඤ්ඤ අධිරාජ්‍ය ව්‍යාප්තිය වෙනකන්ම ඕකයි වුණේ..

කිසිම අන් මතේකට ගරු කලේ නෑ.. පුරෝහිතලා ඇමතිලා මෙහෙම හොඳයි කියනව විතරයි. විරුද්ධ උනොත් කඩු පාර. ඒක හින්දා උන් එහෙමයි ස්වාමීනි කියාගෙන අර අපරාධකාරයන්ට උදව් කළා.. හිතන්න නිකමට හරි ඒ කාලෙ ඡන්දයක් තියන්න ඇහුවා කියලා සාමාන්‍ය වැසියෙක්.. ඔබම හිතාගන්න ඒ මනුස්සයටයි පරම්පරාවටමයි මොකක් වෙයිද කියලා..
පරම්පරාවෙන් ලේ උරුමෙන් රජකමට එන්නෙ.. හිතන්න මානසික අසහනකාරයෙක්.. එහෙම නැත්නම් මෝඩයෙක් රජවුණා කියලා ඒ විදිහට ( ඔක්කොම මානසික ලෙඩ්ඩු තමයි ) දැං ඒ මනුස්සයගෙ මානසිකත්වෙ මත රටක ජනතාවගෙ ජීවිත තීරණය කරනවා කියන්නෙ කොයි තරම් අමානුෂික ද.. කැකිල්ලෙ රජ්ජුරුවෝ.. යසලාලකතිස්ස.. නිරෝ අධිරාජ්‍යයා වගේ අය හොඳම උදාහරණ..

මේ අපරාධ හැමදෙයක්ම රජවරු ලස්සනට වහලා ජනතාව ගොනාට ඇන්දුවා... ඒක කලේ ආගම ජාතිය පාවිච්චි කරලා.. මම තමයි මේ ආගමේ ජාතියෙ එකම ගැලවුම් කාරයා.. මම තමයි අහවල් දේ එකම භාරකාරයා..අපි තමයි ශ්‍රේෂ්ඨ.. දෙවියන්ගෙන් හරි කාගෙන් හරි ලැබුණ බලය තියෙන්නෙ අපිට.. අන්තඃපුරය , මිනීමැරීම කියන්නෙ අපිට ලැබුණ පුජනීය අයිතියක්.. ඒකට විරුද්ධ වෙනව කියන්නෙ අර පූජනීයත්වයට ආගමට ජාතියට විරුද්ධ වෙන එක කියලා මතයක් ගොඩනැගුවා මිනිස්සුන්ගෙ මනස ඇතුලෙ..
ඒකට සෙල්ලිපි සාහිත්‍ය වගේ දේවල් යොදාගත්තා පස්සෙ කාලෙ එන මිනිස්සුන්වත් ගොනාට අන්දන්න.. සෙල්ලිපි වල පොත් වල තමන්ගෙ වර්ණාව ලියවලා ප්‍රසිද්ධ කරවගන්න තරම් මොන තරම් පොර මානසිකත්වෙක ඉන්න ඇත්ද.. ( ඔව් ඉතිහාසෙ ලියන්නෙ ජයග්‍රාහකයනෙ )

ඔන්න ඔය වගේ මිනීමරු ගෝත්‍රික ම්ලෙච්ඡ තත්වෙක හිටපු අධිමානයකින් පෙළුණ පැසිස්ට්වාදී ප්‍රජාපීඩක වහල් හිමියො පිරිසක් තමයි රජවරු කියලා කියන්නෙ.. 
පොඩි හරි සතුටුවෙන්න පුළුවන් කමක් තිබ්බෙ රෝමෙ සෙනෙට් එක ( දේශපාලන ය පැත්තෙක් අංශුවක් ප්‍රජාතන්ත්‍රවාදී උනාට කොලෝසියමට දාලා සිංහයන්ට කන්න දාපුව අපිට මතකයි ) බුදුන්ගෙ කාලෙ ලිච්ඡවි සමූහාණ්ඩුව වගේ ඒවා තමයි.. ( අජාසත්ත තාත්තව මැරුවෙත් ඔය සමකාලීනව තමයි. මොන ධර්මය කිව්වත් රජා රජාමය. )
සමහරු පස්සෙ හොඳ වෙන කතා තිබ්බට වැඩක් නෑ ඉතින් ඒ වෙද්දි මිනිස්සු මිලියන ගානක් මැරිලා ඉවරයි..
ඒ වගේම තමයි පොඩ්ඩක් හිතන්න හදිස්සියෙ බුද්ධාගම ලංකාවෙ තිබ්බෙ නෑ කියලා.. එහෙම තිබිලත් ඔය තරම් ම්ලෙච්ඡ වෙච්ච බිරිඳට ලියුමක් දුන්නම මනුස්සයෙක් ව තෙල් බාජනේක දාලා රෝස් කරන්න තරන් ත්‍රස්තවාදී රජවරු කොහොම හැසිරෙයිද...

ඉතින් රජවරුන්ගෙ මේ කතා කාලෙට සාපේක්ශයි..පරිණාමය වෙද්දි මිනිස්සු තමන්ගෙ මෝඩකම් අවබෝධ කරගෙන මැග්නාකාර්ටා ගිවිසුම් ගහල ප්‍රජාතන්ත්‍රවාදය ගෙනල්ලා..ප්‍රංස විප්ලවේ වගේ විප්ලව කරලා ලෝකෙ රාජාණ්ඩු වලට වැඩිය අනන්ත වාරයක් යහපත් තැනක් කරන්න උත්සහ කලේ.. ඒකෙ ප්‍රතිඵල විදිහට අද අපි ඊට වැඩිය යහපත් තැනක ඉන්නවා ප්‍රජාතන්ත්‍රවාදී ලෝකෙක.. තව යන්න ලොකු දුරකුත් තියනවා අනිවාර්‍යයෙන්...

ඒක හින්දා ඒ දුර යන්න පරිණාමික ගමනට උදව් කරනවා මිසක් රජවරු ගැන ආඩම්බරයි.. ඉතිහාසෙ මෙහෙමයි කියලා අරයා මෙහෙමයි මාර ආඩම්බරයි කියලා කියවන්න එපා.. රජතුමාලා ගැන ආඩම්බර වෙන්න කිසිම දෙයක් නෑ.. මිනී මරපු ස්ත්‍රී දූෂණය කරපු කිසිම මනුස්සයෙක් ගැන ආඩම්බර වෙන්න බෑ ලැජ්ජ වෙනවා මිසක්.. 
ඒ අය ජාතියට ආගමට අරවා කලා මේවා කලා අරක හැදුවා මේක හැදුවා කිව්වට කරපු වැරදි වලට හොඳ මිනිස්සු වෙන්නෙ නෑ..වහල්කම් කරන්න මිනිස්සු යොදාගත්තුවා සාධාරණීකරණය කරන්න බෑ..  එයාලා කලේ ඒ කාලෙ ක්‍රමේ.. පාරම්පරිකව ඒ හැදිලා තිබ්බ මානසික තත්වෙ අනුව රජාලට බනින්න බෑ..

හැබැයි අපිට පුළුවන් ඒ වැරදි තේරුම් අරගෙන අනාගතේට යහපත් ලෝකයක් ගොඩනගන්න.. ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදී ව පත් කරපු පාලකයන්ව රජාලාට අන්දන්න යන්නත් එපා.. එයාලා රජා වෙනව කියන්නෙ ඔබ නිකන්ම අර මම කලින් කියපු වගේ වහලෙක් වෙන එක..

ඔය ඉතිහාස චිත්‍රපට පොත් ඔක්කොම රජවරු උත්කර්ෂයට නංවපු ෆැන්ටසි..
ඒ අතරෙ ගේම් ඔෆ් ත්‍රෝන්ස් කියන්නෙ රජවරු බලය වෙනුවෙන් කරන ම්ලෙච්ඡ ක්‍රියා පෙන්නලා සළු පිළි ගලවලා දාන රියැලිටියක්.. ඒකයි මම ඒ ගැන කිව්වෙ මුලින්ම..

නැතුව රජ කතා පම්පෝරි ගැහුවා කියලා ලැබෙන දෙයක් නෑ..
ලේ කඳුළු වලින් නගපු ජයග්‍රාහකයින් ලියපු සුරාන්තයක් විතරයි රජකතා කියන්නෙ.. ඒ වගෙම තමයි හොඳින් මතක තියා ගන්න කොච්චර හොඳ රජවරුන්ගෙ නම් ඔබ කිව්වත්. කොයි තරම් හොඳ රජවරු හිටියත් රාජ්‍යත්වය කියන සංකල්පයම මනුෂ්‍යත්වයට ගැලපෙන්නෙ නැති බව..

ඒක හින්දා වහල්ලු වෙන්න එපා.. මිනිස්සු වෙනුවෙන්.. නිදහස් නිවහල් ලෝකයක් වෙනුවෙන් නිදහස්ව හිතන්න..


# අකලංකාරය 
  - චමල් අකලංක පොල්වත්තගේ 



3 comments:

  1. වෙනස්ම කෝණයක්.. හැබැයි ගොඩක් අයට රිදෙන යතාර්තයත් මේකමයි. නියමයි

    ReplyDelete