Friday, December 23, 2016

වැහිසේන නිරිඳු කතා වත්තුව



වැස්ස වළා නරේන්ද්‍ර මෙත්පල් හෙවත් වැහිසේන නිරිඳු කතා වත්තුව...

පෙර ටසිරිලක සරලාභිධාන නරේන්ද්‍ර මෙත්පල් සිරිසන් මහරාජාණන් වහන්සේ රාජ්‍ය විචාරන සමයෙහි යෙදුණා වූ මහා දුර්භික්ෂද නියංද උණට හිසරදයට සහනය ගෙන දෙන සිධාලේප වෙදමහත්තයා මෙන් සමනය කර වැසි වැස්සවූ කතා පුවත අකලංකාරයෙහි මෙසේ ගෙන හැර දක්වන්නාහ..

සකල ටසිරිලක විශ්වයේ ඈස්චර්‍යයේ ගිල්වා බත් කළා වූ මහින්දෝත්තම මහාධිරජාණන්ගේ පාලන සමයෙනැ අනතුරුව අනුප්‍රාප්තික නරේන්ද්‍ර මෙත්පල් තෙමේ පෙරැ අකලංකාරයෙහි ලියූ පරිද්දෙන්මැ දැහැමින් සෙමින් රට පාලනය කරන්නාහ... පයට පාවහන් පවා නොපළඳින්නාහ.. වායු සමීකෘත වැසිකිලි ප්‍රතික්ෂේප කළ එතුමානෝ කොටුවේ පොදු වැසිකිළියම භාවිත කළාහ. කිසි දිනකැ මහජන ධනය අවභාවිත නොකළ එතුමාණෝ සැප රිය ප්‍රතික්ෂේප කළාහ.. පෲඩෝ.. බෙන්සාදී මහේශාක්‍ය රිය ප්‍රතික්ෂේප කළ එතුමානෝ හන්දියේ අමරෙ මල්ලිගේ තුන්සක රියේම ජනදුක නිවාරණු පිණිස ගම් දනව් සිසාරා වැඩියාහ.. පීසා ද කේඑෆාසීදා මැකා ද බිරියාණිද ෆ්‍රයිඩ් රයිසාදා ප්‍රතික්ෂේප කළ එතුමාණෝ දියවැඩියා රෝගියෙක් මෙනැ සරලවම ආහාර ගත්තාහ... පාතරාසයට සුමනක්කාගේ පෙට්ටි කඩෙන් ආප්ප වළඳා ජයන්ති දේවීන් වහන්සේ කෙසෙල් කොළයේ ඔතා දෙන කරෝල බැදුම සමගැ අරලිය සහල් අනුභව කොට රෑට නොවළඳා  නින්දට ගියාහ..



සකල රටවැසියෝ.. මූල්‍යාමාත්‍යාංශය වටලා තමන් සතු කහවණු ගෝනි ගණනින් කූඹින් මෙන් ගෙනෙන රට වැසියෝ ඒවා බදු ලෙස බාර ගන්නයැයි ඇවිටිලි කරමින් උද්ඝෝෂණය කරන්නාහ.. ජාත්‍යන්තරයද පිටසක්වල ද  මෙත්පල් සිරිසන් රජුගේ සරලභාවයෙන්  කෝලි කුට්ටුවාණන් ගොඩනගන ඉනිමක් සේ සංවර්ධනය ඉහළට ඇදි ඇදී යන ටසිරිලක දැක පුදුම වූවාහුය..

ටසිරිලක වැස්සෝ මේ තරම් සතුටින් සාමයෙන් සහජීවනයෙන් කල්  ගත කරන්නා කල්හී අභාග්‍ය සම්පන්න කලක් උදාවිය..
ටසිරිලක මහපොළොව ලිපෙහි තබන ලද රොටී තැටියක් මෙන් කරවන්නට විය.. එකදු වළාවක්වත් නොමැති අහස් කුස එකම නීල පැහැයකි.. සූර්‍යන් සප්තකයක් පෑව්වක් මෙන් කරකුට්ටම් වී පිච්චී කෙළවී හැඳිගෑවී මකබෑවී ගියාහුය..
දක්ෂිණ දේශයේ වතුමොටෙයියෝ ද වියළී පැන්සල් තරම් ක්ෂීණ විය..
වැව් බැඳි රජරට දේශයේ මහාවාපී සිඳී ගම් කොල්ලෝ වැව් පතුලේ ටීක් බෝල ගසන්නට වන්නාහ.. මහ ජනී ජනයා බෝම්බ හෙළන ලද ඇලෙප්පෝවට බූමිකම්පාවක් ආ දින උල්කාපාතයක් කඩන් වැටුනාක් මෙන් නියං ගින්නෙන්ද,, ආහාර හිඟයෙන්ද පීඩා විඳින්නාහ.. දිය පොදක් වෙමින් තොල් වියලෙන පිපාසෙට එකදු පැන් පොදක් නොමැත්තාහ.. බාල පයිප්ප දමා ගේ හැදූ හෙට්ටිගේලාටද පයිප්ප වලින් යන්නට ජලය නැත්තාහ...
සිරුරු ඇට ගැසුණු ගම් වැස්සෝ ද සත්තුද  දිය සොයා අයින් විලා පයින් ගියාහුය..
දිය නැති නියා ජල නල දුකින් ඇඹරී ගියාහුය.. වගා කරන ලද්දා වූ කෙත් වතු නොම්මර හතරේ වැලි කඩදාසියක් මෙන් වියලී ගියාතර සුළං පහරින් දූවිලි වී ගසාගෙන ගියාහ.. ගොවියෝ සියදිවි නසාගැන්මට මැසි තෙල් සොයා ඇවිද ගිය මුත් මැසි තෙල් සාදන්නටද ජලය නැති සොවින් මැසිතෙල් කර්මාන්ත හිමියෝ නිරිඳුම් මිල අඩු කල පැනාඩෝලා ඖෂධ ඔසුසලෙන් ගෙන සියදිවි නසාගත්තාහ..

විදෙස් ගමනක යෙදී සිට පුවත්පතකින් මේ කරුණු දුටු නියා අප මහා මෙත්පලානෝ වහාම සරල අහස් යානයක පාපුවරුවේ එල්ලී ටසිරිලකට පැමිණියාහුය..

පැමිණි වහා එතුමාණන්ගේ රාජකීය මන්ත්‍රාචාර්‍ය වරයා වූ "වාසිරි අනිගරතාණන්" කැඳවා මේ පිළිබඳ විමසාහුය. මන්ත්‍රාචාර්‍ය ගේ නිර්දේසය වූයේ... පාන් ගෙඩියක නියඟයයැයි ලියා එය බල්ලන්ට කන්න දමා පසුව වැසි නර්තනය නිරිඳුන්ම රඟපෑ යුතු බවයි...

" උතුරින් නියං ගින්නද.. දකුණින් ව්.. මා කෙසේ හිටං සිටින්නද...."

කියා සිංහනාද කළ එතුමාණෝ නියං ගිනි නිවා වැසි වස්සවනු නියා ගිනිනිවන හමුදා බටයෙක් මෙන් වහා ජනදුක නිවාරන්නට නික්මුණාහුය...

වහා පාන් රාත්‍තලක් ගෙන ගුරුකම කළ එතුමාණෝ....
පිටකොටුව පෙදෙසින් සිය අත්වැසියෙක් ලවා "කවුද බෝයි" විරුවාණන්ගේ කතා වත්තුව ගෙන්වා එය නරඹා තෙමේම සටනට බසින ලද්දාහ..

වහා කැම්බල් පිටිය වෙන් කළ එතුමානෝ..
සිය සරම ගලවා අසල තිබූ ක්‍රීඩා මණ්ඩපයට කබාය ගලවා විසි කරන එල්විස් ප්‍රෙස්ලියාණන් මෙන් වීසි කර කොළ අතු ඇන්දාහ...
සිය මළණුවන්ට අයත්ව තිබූ අත් පොරොවක් පුලතිසිපුරයෙන් වහා ගෙන්වා කැම්බල් පිටියේ මහා ගිනි මැලයක් ගැසුවාහුය...
රෝමය ගිනි ගනිද්දී නීරෝ වීණා වයන්නාක් මෙන් ජනයා නියං ගින්නේ සිටිද්දී මේ කරන මිත්තණියගේ වස්ත්‍රය කුමක්දැයි විචෑරූ මීඩියාවන්ද මහජනයාද සියක් දහසින් පිටියට රැවුණාහ...
ජනයා තුෂ්ණිම් භූතය...
මෑතින් මෙත්පලානෝ ව නරඹන දෙකෝටියක මහා ජන ගඟය..
ඈතින් පිටිය මැද ගිනි මැලයක් ගසා කොළ අතු හැඳගත් මෙත්පලානෝ ය..

සැනෙකින් කෙටේරිය කරේ හොවාගත් එතුමාණෝ පිහාටු හිස්වැස්මක් හිසරුවා

කවුද බෝයි හී වැසි මවන පිහාටු ඇත්තා මෙන් සැරසී...
රජිනී කාන්ත් මෙන් සත් වරක් ගෙල හරවා...

"නාන් ඔරු දඩව සොල්ලාර්..
නූර් දඩව සොල්ල මාදිරී හිටං.. "

යැයි කෑ ගසා

වැසි වස්සවා මිස මෙතනින් එළියට නොයමියි කියා සිංහනාද කර..
පන්සිල් සමාදන්ව.. පළක් බැඳ අට සතලිස් පැයක් භාවනාවේ සත්‍යක්‍රියාවේ යෙදුණාහ..

අයින් නැගිටුණ එතුමාණෝ...

"හුයියා හුයියා හුය හුය හුයියා....//""

කියමින් ගිනි මැලය වටා නටමින් බමන්නාහ...

මේ නම් අපගේ පිනට පහළ වූ නරපතියෙක්මැ කියමින් මහජනතාවෝ සාධුකාර දෙන්නාහ.. ඒ සාධුකාරයෙන් කෝළම්තොට වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර් පවා දෙදරුම් කෑහ.. මෙය ලයිව් බලන වැසියෝද සාධුකාර දුන්නාහ.. සිය දහසින් ජනී ජනයා මෙය බලන්නට ඇදී ආහ..

මෙසේ සය පැයක් ඔලිම්පියා වළල්ලේ දුවනා හුසේන් බෝල්ටාණන් මෙන් මෙත්පලානෝ ගිනි පැලය වටා බමනා කල්හී මහත් ඈස්චර්‍යක්මැ විය..

බෙංගාල බොක්ක දඩාස් ගා කැළඹිය.. අහස කුස අඳුරු විය... පරිසරය කළු විය.. ඉන්දීය සයුර දෙසින් වලාවෝ ඇදී එන්නට වන්නාහ..  ජනී ජනයා ෆයිනල් මැච් එකක් බලන්නාක් මෙන් දෑස් අයා බලා සිටියාහ..
මව් වරුන්ගේ ඇකයෙන් දරුවන් වැටුණි..
මෙසේ අඳුරු අහසින් දිය බිඳු එක දෙක වැටෙන්නට වන්නාහ.. බෙලෙක්කයට තඩි බාන්නාක් මෙන් පට පට ගා ගිගුරුම් ඇති වන්නට විය..
සැනෙකින් කොස් ගෙඩි තරම් වැහි බිඳු අහසින් පතිත වන්නට වන්නාහ..
අහෝ තවත් ආශ්චර්‍යයක්මැයි
මෙත්පල් නිරිඳානන්ගේ ඇඟ මතට එකදු වැහි බිදක්වත් ණොවැටුණාහ. දෙවියෝ විසින් ඒ ඉඩ කෙකටියා මල් වර්ෂාවකින් පුරවන්නට වන්නාහ.

මේ ආශ්චර්‍යය දුටු ජනී ජනයා වැසි මත්තේ මඩ ගොඩේ දෙදණ බිම ඔබා

"ඔබයි අපට සිරිසන් නිරිඳේ.."  කියා වන්දනා කරන්නාහ..

එතැන් පටන් සත් දිනක් නුවර වීථි යට කරගෙන කොළඹ අහස කළු කරගෙන වැසි වැස්සාහ..
ඇතැම් පෙදෙස් වලට ගිගුරුම් සහිත වැසිද මද වැසිද වැස්සාහ..
සත්‍ය ක්‍රියාවේ බලයෙන් වැසිවට නියාවෙන් දිය පහස ලද වී කරල් ද මෑ කරල් ද බතලද මඥ්ඥොක්කා ද කොත්තු මී නූඩ්ලස් එකක් මෙන් සනිකව දලුලා වැඩුණාහ...
මෙසේ මහජන දුක් නිවා වැසි වැස්සවූ නියා එතැන් පටන් සරලාභිධාන නරේන්ද්‍ර මෙත්පල් සිරිසන් නිරිඳාණෝව..

"වැහිසෙන් දෙවියන්" ලෙස හැඳින්වූවාහුය..

අකලංකාරයෙහි එන වැස්ස වළා නරේන්ද්‍ර මෙත්පල් හෙවත් වැහිසේන නිරිඳු කතා වත්තුව මෙතකින් නිමියේයැ..

# අකලංකාරය
  - චමල් අකලංක පොල්වත්තගේ

1 comment:

  1. හෙම්බා කොල තෝ මෙසේ බස මරණ කලැ අපිට කෙසේ බසක් පිහිටාද? තෙපි වාලුකා පත්‍රයට වැලි කොලයැයි කියති. විටෙක "කිමෙක්ද කොල" නමැති සෙනෙවියන්ට "කවුද බෝයි" කියති. මෙකල ඝෝඨ අභය සෙනෙවින් රාජ්‍ය කොලෝ නම් තෙපි ධවල රථයෙන් ගොස් බෝ කළැක් වන්නේය.

    ReplyDelete