Tuesday, December 27, 2016

අපාය ස්වර්ග ඕනෙද මිනිහෙක් වෙන්න ?



හිඟන්නට කන්න අරන් දුන්නෙ ඇයි මචං ? - පින් සිද්ද වෙනවනෙ බං යන ලෝකෙකට හරි

ඒ ළමයට උදව් කලේ ඇයි බං - ස්වර්ගෙට යන්න පුළුවන්නෙ.. දිව්‍යලෝකෙට යන්න.. කන්‍යාවො 72ක් ලැබෙනව..

ඇයි මචං උඹ සත්තු මරන්නෙ නැත්තෙ - හාපෝ පිස්සුද අපායෙ යනවනෙ

ඔයා ඇයි හොරකම් කරන්නෙ නැත්තෙ - පව් සිද්ද වෙන හින්දා

එතකොට උඹ ? - ස්වර්ගෙට යන්න බෑනෙ බං මැරුණම..

ඇයි උඹ වැරදි වැඩ කරන්නෙ නැත්තෙ - පිස්සුද බං අපේ ශාස්තෲන් වහන්සෙ එපා කියලා තියනවා..

සරල ප්‍රශ්ණ කිහිපයකට ලැබුණ උත්තර.. මිනිස්සු හොඳ දේවල් කරන්න ඕනෙ.. වැරදි කරන් නැතුව ඉන්න ඕනෙ ඇයි ඇත්තටම...
කවුරුහරි කියපු හින්දද
අපායෙ දිව්‍යලෝකෙ ස්වර්ගෙට හරි සාතන්ගෙ ලෝකෙකට හරි යන හින්දද..
මැරුණට පස්සෙ හරි දැන් හරි සැප ලැබේවා කියන බලාපොරොත්තුවෙන්ද..?
 එහෙම නැත්නම් මැරුණාම ආත්මෙට යහපතක් වෙන හින්දා හෝ සැනසීමක් නැති වෙන හින්දද..

ඒකෙම විලෝමය අරගෙන බැලුවොත් කවුරුහරි ඔප්පු කළොත් පින් පවු අපාය දිව්‍ය ලෝක පස්සෙ ලැබෙන ලාබ. මතු ආත්ම වගේ දේවල් නෑ කියලා..

අපි හිඟන්නට සල්ලි දුන්නෙ පින් හින්දනම් පින් කියලා දෙයක් නැත්නම් අපි ආයෙ සල්ලි නොදී ඉන්නවද.

සත්තු නොමරා හිටියෙ ස්වර්ගෙට යන්න බැරිවෙන හින්දා නම් ස්වර්ගෙ කියලා දෙයක් නැත්නම් අපි සත්තු මරන්න ඕනෙද..



එහෙනම් අපි උදව් කරන්න ඕනෙ හරි වැරදි නොකර ඉන්න ඕනෙ පින් පව් ස්වර්ග අපාය මතු ආත්ම සැප දුක පදනම් කරගෙනද.. එහෙම නැත්නම් මනුස්සයෙක් විදිහට හොඳ දෙයක් කරන එක හොඳයි කියන පදනමින්ද...
ඇත්තටම මිනිස්සු කියන්නෙ යමක් තේරුම් ගන්න පුළුවන් සතුන් කණ්ඩායමක්.. එතකොට අපි මොකක් හරි හොඳක් කරන්න ඕනෙ කියලා මම නම් හිතන්නෙ ඒක ඒ අවස්ථාවේ විය යුතුයි කියන පදනමින් මිසක් වෙන් ලාබ බලාගෙන නෙමෙයි.. පින් පව් ස්වර්ග අපාය දිව්‍යලෝක පදනමින් ඒ දේ කරනවනම් ඒකත් හරියට ඡන්දෙ ගන්න බලාගෙන ගමට ලයිට් අරන් දුන්නා වගේ වැඩක්.. ගමට ලයිට් අරන් දෙන්න ඕනෙ ඡන්දෙ ගන්නද ගමේ මිනිස්සුන්ට එළිය දෙන්නද..
අන්න එතනයි තර්කය තියෙන්නෙ..

ඊළඟට කියන කතාව තමයි ඉතින් එහෙම හරි මනුස්සයෙක් උදව් කරනවනම් වැරදි වලින් වැළකිලා ඉන්නවනම් හොඳයිනෙ කියන එක..

ඔව් හරියටම හරි.. ඇත්තටම ඒක හොඳයි.
හැබැයි මිනිස්සු කියන්නෙ කැරට් අලයක් පෙන්නලා කරත්තෙ අදින බූරුවෙක් තරම් නොදියුනු මානසිකත්වයක් තියන සතෙක් නෙමෙයි..

ඒ තර්කෙ හරියට මේ වගේ..
පොඩි බබෙක්ට අම්මා කෙනෙක් බත් කවන්නෙ හප්පා පෙන්නලා.. ඉතින් පොඩි එකා බත් කනවා.. ඒ ළමයා ලොකු උනාම තේරුම් ගන්නවා කෑවෙ නැත්නම් මම හැදෙන්නෙ නෑ.. ඒක හින්දා මම කන්න ඕනෙ කියලා..
බූරුවා පොඩි ළමයෙක් වගේ.. කරන දේ ගැන තේරුමක් නෑ.. වාසියක් ලාභයක් හෝ වෙනත් බලකිරීමක් නැතුව වැඩක් කරන්නෙ නෑ.. හැබැයි මිනිස්සු කියන්නෙ ඊට වැඩිය හාත්පසින් දියුණු මනසක් තියන අය...
සමහරවිට ශාස්තෲන් වහන්සේලත් අපාය දිව්‍යලොක ස්වර්ග සාතන් පව් පින්  සංකල්ප ගේන්න ඇත්තෙ ඒ කාලෙ හිටපු නොදියුණු මිනිස්සුන්ට හොඳ නරක පැහැදිලි කරන්න වෙන්නත් පුළුවන්..

ඉතින් මම හිතන්නෙ නෑ මිනිහෙක්ට හොඳ වැඩක් කරන්න හරි වැරදි දේකින් වැළකිලා ඉන්න කැරට් අල පෙන්නන්න ඕනෙ කියලා.. හොඳ කරන්නෙ හෝ වැරදි වලින් වැලකිලා ඉන්නෙ එහෙම බාහිර බලපෑමක් හින්දනම් මනුෂ්‍යයෙක් කියන නමට නොගැලපේය කියන හැඟීමක් නිරායාසයෙන් ඇති වෙනවා..

හැමෝටම තියනවා ආගමික විශ්වාසයක්.. මේ ලෝකෙ ආගම් 4200ක් පමණ තියනවා.. ඉතින් ඒ ආගම් හැම එකක්ම අදහන අයට සාපේක්ෂව හරි.. ඒ නිසා දිව්‍ය ලෝක අපාය ස්වර්ග සාතන්ලා තියනවද නැද්ද.. පින් පව් තියනවද නැද්ද ගැන හොයන්න යන්නෙ නෑ.. ඒ දේවල් තියෙන්නත් පුළුවන් නොතිබෙන්නත් පුළුවන්..

හැබැයි ඒ දේවල් තිබුණත් නැතත් ඔබ මනුෂ්‍යයෙක් වෙන්න.. බාහිර බලපෑමක් නැතුව ස්වාධීනව ජීවත් වෙන්න... ඒ දේවල් තිබුණත් නැතත් ඔබට වැරදි වලින් ඈත් වෙන්න.. කරන වැරදි තේරුම් ගන්න හෝ හොඳ දේවල් කරන්න තරම් චින්තනයක් ගොඩනගාගන්න...

අපි බයික් එකක යද්දි හෙල්මට් දාන්නෙ පොලීසියෙන් දඩ ගහයි කියල ද නැත්නම් බයිසිකලේ හැප්පිලා ජීවිත හානි වෙයි කියලද..
පොලිසියට බයේ දැම්මත් තමන්ගෙ ජීවිතේ ගැන හිතලා දැම්මත් වෙන්නෙ එකම දේ..
හැබැයි හප්පා පෙන්නලා බත් කන මනස නොමේරූ දරුවයි.. ජීවත් වෙන්න ඕනෙ කියලා බත් කන මනස මේරු වැඩිහිටි මනුෂ්‍යයයි කියන්නෙ දෙන්නෙක්...

සමාජය යහපත් තැනක් වෙන්නෙ තමන් හිතලා ඒක සාපේක්ෂව හොඳද නරකද කියලා තීරණය කරලා කරන එක නිසා මිසක් අනුන් කියපු හින්දා කරන නිසා හෝ බාහිර බලපෑමකට බයේ කරන නිසා නෙමෙයි..
එහෙම ස්වාධීන නිදහස් චින්තනයක් තියන මිනිස්සු හැදුන දවසට පව් පින් අපාය දිව්‍යලෝක ස්වර්ග සාතන් හෝ නීතිය තිබ්බත් නැතත් ලෝකෙ මීට වඩා හොඳ තැනක් වෙයි...


#අකලංකාරය
  - චමල් අකලංක පොල්වත්තගේ

2 comments:

  1. ලෝකේ කවදාවත් හොඳ තැනක් වෙන්නේ නෑ..

    ඒක පවතින තාක්

    හොඳ නරක දෙකම තියෙන තැනක්..

    මොකෝ නරක නැත්නම්.. හොඳට තැනක් නැති වෙනවා..

    ReplyDelete
  2. මට මතක් උනේ අපාය සහ ස්වර්ගය තියෙන්නේ කොහෙද කියලා හිමිනමකගෙන් අහන්න ආව සමුරායිවරයාගේ කථාව

    ReplyDelete