Monday, October 1, 2018

ආට් මිස්


සන්නස්ගලගෙ ගෙ භික්ෂු පරිච්ඡේදය කියවන්න පටන් ගත්තා.. පොතේ පිදුම ලියලා තියෙන්නෙ අත්වැඩ උගන්නපු පිසික්ස් ගුරුතුමාට.. ඇයි කියලා දැනගන්න පොත කියවලා බලන්න..

ඕක කියෙවද්දි මට මතක් උනේ මගේ චිත්‍ර ටීචව.
මගේ ජීවිතේ මතක හිටින ගුරුවරු හිටියෙ පොඩි දෙනයි. උපරිම පහක් ඇති. ඒ ලිස්ට් එකේ උඩින්ම ඉන්නෙ මිරිහාන මිස්. මිස් කළුයි. ටිකක් මහතයි ඉස්කෝලෙ චිත්‍ර උගන්නපු ටීචර්. හය වසරෙ ඉඳන් ආට් ඉගැන්නුවෙ ඒ මිස්. පොඩි කාලෙ ඉඳන් චිත්‍ර අඳින්න ආස හින්දා චිත්‍ර තෝරගත්තා හය වසරෙ. චිත්‍ර පීරියඩ් එකේ ආට් රූම් එකට යන්න ඕනෙ. පන්තියෙ ඉඳන් ටිකක් දුරින් තියන හින්දා ඔය යන අතරෙ කැන්ටින් ගිහින්, බයිට් කාලා, පරක්කු වෙලා ආට් රූම් එකට ගියාම මිස් ගහලා නෑ. බැන්නත් තේරෙනවා තරහකින් බනින්නෙ නෑ කියලා. දවස් දෙක තුනක් මාට්ටු උනාම එලියට වෙලා ඉන්නව කියලා විනාඩියෙන් ඇතුලට ගන්නවා... ආ දැන්ද එන්නෙ කියලා අහලා චිත්‍ර අන්දනවා.. මිස්ගෙ පොත දීලා නෝට් එක ලියාගන්න කියනවා...  පන්සල් වල චිත්‍ර, චෛත්‍ය වල හැඩ, සැරසිලි මෝස්තර ඒවා මේවා.. ඉස්සර හිටපු චිත්‍ර ශිල්පියො ගැන, බුදු පිළිම, මැටි වගේ කර්මාන්ත ගැන තමයි සිලබස් එකේ තිබුණෙ. අදටත් ගොඩක් ඒවා මතකයි.

වෙන වෙලාවට පීරියඩ් එකක් කට් කරන්නෙ කොහොමද කියලා බලාගෙන ඉන්න මට ආට් රූම් එක පට්ට නිදහසක් දැනුනා.. ඔහොම 8 9 වසරවල් වලට එනකොට අන්තිමේදි මං වෙන සබ්ජෙක්ට් එකක් තියන වෙලාවට පවා කම්මැලි හිතුනම ආට් රූම් එකට යනවා.. එතන එක එක වැඩ වෙනවා. ඉස්කෝලෙ උත්සව වලට ඕන රෙජිෆෝම් කපන වැඩ, බෝඩ් අඳින අකුරු ලියන වැඩ, ඔය වගේ ගොඩක් ඒවා.. එක්කො සංගම් වල එක එක ඩේස් වල ආට් වැඩ වගේ ඒවා. මං ඉතින් ඕවත් බලාගෙන ඉන්නවා..




මිස් කවදාවත් ආවම බැනලා එලෝගෙන නෑ. මොකද කොල්ලො මේ පැත්තෙ.. ඉගෙනගන්නෙ නැද්ද කියලා ඇහුවම මම ඇත්තම කියනවා. කම්මැලියි මිස්.. එපා වෙනවා.. ගණං සර් ඉන්නෙ.. සෞඛ්‍ය මිස් ප්‍රැක්ටිකල් පීරියඩ් එකෙත් උගන්නනවා.. මං අද පොත් ගෙනල්ලා නෑ.. ගෙදර වැඩ කරලා නෑ.. අම්මව එක්කං එන්න කිව්වා. අම්මට කිව්වෙ නෑ.. ඉතින් පන්තියට යන්න බෑ.. වගේ එක එක කතා.. පොත් ගෙනියන්න පුරුද්දක් තිබ්බෙ නෑ මට ඉස්කෝලෙ. අච්චු පොත් බර හින්දා ඩෙස්ක් එකේ ලාච්චුවෙ දාලා යන්නෙ. ඉතින් ඒවත් නෑ ගොඩක් වෙලාවට. ලියන පොත් වල කෑලි නෑ. හිස් පිටු තියෙන්නෙ. ගණං පොතේ විතරයි වෙන සබ්ජෙක්ට් එකක් නොලියා තිබ්බෙ. ඒ ඒක කොටුරූල් හින්දා..

චිත්‍රයක් ඇන්දම අඩුපාඩු හදනවා. මගේ චිත්‍ර පොතේ ඔක්කොම සම්පූර්ණ කරපු චිත්‍ර තිබ්බෙ එකක් දෙකක් වගේ. අනිත්වා බාගෙට පාට කරලා. නෝට් පොතේ කොහොමත් මුකුත් නෑ . හැම අවුරුද්දෙම එහෙමයි උනේ. මිස් කවදාවත් චිත්‍රෙ මෙහෙම අඳින්න කියලා නෑ.. චිත්‍රෙ ඇඳලා පෙන්නුවම අඩුපාඩු හදනවා. මෙහෙම කලානං හොඳයි කියලා කියනවා. දවසක් මං කම්මැලිකමේ මේසෙට ඔලුව තියාගෙන චිත්‍ර අඳිනවා වගේ පේන්න පැන්සලකින් පොතේ බලි ඇඳ ඇඳ ඉන්නකොට එන්න කියලා කතා කලා..     මගෙ පොත බලලා ඇහුවා මේ මොකක්ද දරුවො මේ කරලා තියෙන්නෙ.. ඔයාට අඳින්න පුළුවන් දරුවෙක්නෙ. ඇයි මෙහෙම කරන්නෙ කියලා. මං ඉතින් බිම බලාගෙන ඉන්නවා. ඊට පස්සෙ ටීච පැන්සල අරගෙන අර බලිබූත ගොඩට තියලා මට කිව්වා මේ බලන්න.. මේකෙ හැංගිලා තියනවා රූප. ඒවා උඩ තදට ඇඳලා හොයාගමු කියලා. ටීච පැන්සලෙන් අර බලිබූත ගොඩේ හැංගිලා තියන මාළුවො,. ඇස්., මූණු, සර්පයො, ගස්, වගේ එක එක රූප ලකුණු කරලා පෙන්නුවා.. අලුතෙන් ඉරක්වත් අඳින්නැතුව තිබුණ ඉරි ගොඩ ඇතුලෙන්ම ඒවා ලකුණු කරලා පෙන්නුවා..

ඔය වගේ වැඩක් කලාම පොත වීසි කරපු, ගහපු, බැනපු, දණ ගස්සපු, ගුරුවරුන්ගෙ අත්දැකීම් ඕන තරමක් තිබ්බ මට ඒක සර්ප්‍රයිස් එකක්.. ඉතින් මාරයි ඒක.

පැන්සලෙන් අඳින්න පුරුදු කලේ මිස්. මං පැන්සලෙන් පාට කරන්න ගත්තෙ පාට කරන්න කම්මැලි හින්දා.. වතුර හලාගෙන පැලට් එකක් අරගෙන, පින්සල් අරන් නටන එක ලොකු වැඩක් මට. අදටත් මම වැඩියෙන්ම කැමති පැන්සලෙන් හෝ කලු පෑනෙන් අඳින්න.. ඊයෙ ආයෙ හිතුනා වෝටර්කලර්ස් ට්‍රයි කරලා බලන්න..

ඔහොම ඉන්නකොට එක දවසක් අට වසරෙදි මම ආට් රූම් එක පැත්තෙ ඇවිල්ලා තව යාළුවො දෙතුන් දෙනෙක් එක්ක එතන ඉස්සරහ කොරිඩෝ එකේ සෙල්ලං කර කර ඉන්නකොට, ( ඇත්තටම ඒක පීරියඩ් කට් කිරිල්ලක්. ) මිස් කතා කලා..

නිකන් නේද ඉන්නෙ.. වැඩක් නෑ නේද.. මෙහෙ එනවා.. චිත්‍ර තරගයක් ඇවිල්ලා තියනවා. මෙන්න මේ ෆෝම් එක පුරෝලා අතනින් කොලයක් අරගෙන චිත්‍රයක් අඳිනවා කියලා කිව්වා.. බෑ බෑ මිස් කියද්දි බලෙන්ම ඇන්දුවා.. මාතෘකාව තිබ්බෙ ජාතික සමගිය වගේ මතක..

කොහොමහරි ඉතින් වෙන කරන්න වැඩකුත් නැති වීමත්, චිත්‍රෙ පිට දාලා හවස පීරියඩ් හතර කට් කරගැනීමට හැකිවීමත්, අද හිමින් ඇන්දොත් හෙටත් චිත්‍රෙ පිටින් නිකන් ඉන්න පුළුවන් කියන හේතුත් හින්දා අඳින්න ගත්තා..

කිව්වා වගේම දවස් එකහමාරක් අතගාලා චිත්‍රෙ ඇඳගත්තා.. මාසයක් විතර ගිහින් දවසක මිස් පන්තියට ඇවිල්ලා කිව්වා ඒ තරගෙන් ලංකාවෙන් දෙවනියා කියලා. හම්මේ ඉතින්.. මට මතක විදිහට රුපියල් හත්දහක්ද කොහෙද හම්බුනා තෑගි වලට.. ඒක තාත්තා ගත්තා තාම දුන්නෑ..

 එහෙම්මම ඕලෙවල් වලටත් චිත්‍ර කලේ.. ඕලෙවල් වලට චිත්‍ර ඉගැන්නුවෙ සර් කෙනෙක්. ඒ මනුස්සය චිත්‍රයක් කැතනං ගහනවා.. බොරුවට කෑගහනවා. පෙන්නන්න බැරි හින්දා චිත්‍ර පීරියඩ් එකේ ආට් රූම් එකට යන්නෑ. කට් කරනවා. කොහොමහරි ඕලෙවල් වලට A එකක් තියනවා. ඒ A එක ගත්තෙ මිස් කියලා දීපුවා වලින්. ඕලෙවල් වලට ද්‍රව්‍ය බලා ඇඳීම මිස් අටනමය වසරවල පෙට්ටි සිලින්ඩර, අතුකෑලි තියලා අඳින්න දෙනවා.. ඕලෙවල් දවස් වලත් මිස්ගෙ ආට් රූම් එකට වෙලා ඉන්නවා මොකක් හරි කුරුටු ගගා.   පන්තියෙ උන් එක්ක ආට් රූම් එකේ සින්දු කියලා තියනවා.  මිස් බනින්නෙ නෑ. සද්දෙ අඩු කරන්න කියලා විතරයි කියන්නෙ.. ඊට එහා පැත්තෙ තිබ්බෙ මියුසික් රූම්ස් දෙක..

ඒලෙවල් වලට සයන්ස් පන්තියට ගියා කියලා ආට් රූම් එක අතෑරිය ද.. නෑ.. පුළුවන් වෙලාවට ගිහින් මිස්ගෙ ඔයිල් පේන්ට් අරගෙන පරණ කැන්වස් එකක කුරුටුගාලා එනවා.. පොඩි කාලෙත් කවදාවත් මිස්ගෙ පේන්ට් , පැන්සල් පින්සල්,කැන්වස් වලින් චිත්‍ර ඇන්දා කියලා මිස් මුකුත් කියලා නෑ වරදි හැදුවා මිසක්..
මං පෑනක් පැන්සලක් ගෙනියන්නෙ නැති වෙලාවට ආ මේකෙන් ලියනවා කියලා ඔලුවට තට්ටුවක් දාලා එයාගෙ පෑන දීලා තියනවා..
 පන්තියෙ උන් හිටපු සංගං වල උත්සව වලට බෝඩ් අඳින වැඩ ඩෙකරේෂන් වැඩ ආට් රූම් එකට වෙලා කලේ ඒලෙවල් කාලෙත්..   පේපර් නයිෆ් එකක් අරගෙන රෙජිෆෝම් වල හැඩ කැපුවේ මිස්ගෙන් අහගෙන. අතත් කපාගත්තා. දැං දෙයියනේ කියලා රෙජිෆෝම් වලින් මොකක් හරි කරගන්න පුළුවන්.

ඕලෙවල් A එක නං අදාල නෑ. අදටත් කම්මැලි වෙලාවට  චිත්‍ර අඳිනවා. ආටිස්ට් කෙනෙක් නොවුනට , ලොකුවට  ලස්සනට ඇඳගන්න බැරි උනාට හිත නිදහස් වෙන්න, මගේ ආත්ම තෘප්තිය වෙනුවෙන් ඉරක් හරි කොලේක කුරුටුගානවා අදටත්...   මුල් දවස් වල ගහලා බැනලා එපා කලානං අද චිත්‍රයක් පේන්නවත් බැරිවෙන්න තිබ්බා.. මිස්ව හම්බෙන්න බැරි උනා කාලෙකින්.. පොත කියවනකොට මතක් උනා.. ලියලා තියන්න ඕනෙ කියලා හිතුනා. පීරියඩ් කට් කරන්න පන්තියෙන් එලියට පනින එකෙක්ට තව ගුරුවරයෙක් ගාවටම යන්න හිතෙනව  කියන එකම මාරයි.. ස්තුතියි මිරිහාන මිස්..!!


  - චමල් අකලංක පොල්වත්තගේ

6 comments:

  1. මේ වගේ ගුරු දෙවි වරු ලබන්න පින් තියෙන්න ඕන.

    ReplyDelete
  2. ඔය වගේ ගුරුවරු ඉන්නෙ බොහොම අඩුවෙන්.

    ReplyDelete
  3. ඔබේ බ්ලොග් එකේ බොහොමයක් ලිපි කියෙව්වා . ඔබේ ලිපි විවිධ විෂයන් හරහා අපි එදිනෙදා නොදකින නොඅසන පැති වලට ගෙන යනවා . සිංහල බ්ලොග් කලාවට අළුත් මට ඔබේ භාවිතය ගොඩක් වටිනවා . හැකිනම් මගේ අහස් ගව්වෙන් එහා ලෝකය බොහෝ දෙනෙකුට ලං කරන්න උදව් කරන්න .

    ReplyDelete
  4. ආස හිතුන කතාවක්... ඇත්තටම මිස් හොඳ මිස් කෙනෙක්...

    ReplyDelete