Thursday, October 25, 2018

ගුටිකන වහල්ලු එපා..



මට හොඳටම මතකයි මම එක වසරෙ දෙක වසරෙ ඉන්නකොට උගන්නපු ටීචර් වේවැල අතේ තියාගෙන ඉන්නෙ. මාර බයයි එයාට. අකුරක් වැරදුනොත් ගහනවා. අන්තිමේදි මම ඉස්කෝලෙ යන්න බෑ කියලා ගෙදර හිටියා.. ඉස්කෝලෙ ගියේ කලාතුරකින්. ඒකටත් මට බනිනවා. පන්තියෙ ඉන්නෙ පට්ට ප්‍රෙෂර් එකකින්.

 හැබැයි තුන වසරෙදි ඒක සම්පූර්ණයෙන් වෙනස් උනා. තිස් පහක විතර තරුණ මිස් කෙනෙක් හිටියෙ. එයා කතා කියනවා , ලස්සනට තාලෙට සින්දු කියනවා. කවදාවත් ගහන්නෙ බනින්නෙ නෑ. ළඟට ඇවිල්ලා කියලා දෙනවා වරදින ඒවා.  මම ඒ දවස් වල අසනීප උනත් ඉස්කෝලෙ යන්න ආසාවෙන් හිටියෙ. ටීචට ඕන දෙයක් කියන්න තරං සමීප බවක් විශ්වාසයක් තිබ්බා..

මේ ළඟදි  කුරුණෑගල පැත්තෙ අත් කකුල් වලින් ලේ පනින්න.. ඉදිමෙන්න.. ඉස්කෝලෙ යන පොඩි ළමයෙක්ට ගහලා තියෙද්දි, අනී අපිත් ගුටිකාලා තමයි මෙහෙම "තැනකට" ආවෙ කියලා කියන කැන්ද හැලපයො ටිකක් දැක්කා. උන් හිතාගෙන ඉන්නෙ උන් දැන් මාර තැනක ඉන්නවා කියලා.



පොඩි එකෙක්ට ලේ පනින්න ඉදිමිලා රතු වෙලා යන්න ගහන එක සාධාරණීකරණය කරන එකෙන්ම පේනවා උන් පොඩිකාලෙ ගුටිකාලා හදාගෙන තියන "තැන" මොකක්ද කියලා. ඔක්කොම වැඩ නවත්තලා ඕකුන්ට බෙහෙත් අරන් දෙන්න ඕනෙ.

අනිත් එක ඉතින් උන් වැඩිහිටියො විදිහට සාමූහිකව ගුටිකාලා මාර "තැනකට" ඇවිල්ලනෙ අපි මෙහෙම රටක් විදිහටත් මාර "තැනක" ඉන්නෙ.

පොඩි කාලෙ ඉඳන් පොඩි උන්ට ගහලා බැනලා බය කරලා උන්ගෙ කොඳු කඩලා , ගුරුවරයාව , හෝ ඉහල නිලධාරියාව හෝ ප්‍රධාන ධාරව ප්‍රශ්ණ කරන්න බැරි වහලෙක් බවට පත් කරනවා. එතකොට ඔක්කොටම ලේසියි..උන් කියනවා අරුන් කරනවා. ප්‍රස්ණ කලොත් එක්කො ගහලා බැනලා යටපත් කරනවා. නැත්තං පූජනීය සංස්කෘතික අම්මටහුඩු රෙද්දෙන් වහලා ශුද්ධවූ වස්තුවක් හින්දා විචාරයෙන් තොරයි කියලා වැඩේ ක්ලෝස් කරනවා..

ළමයෙක්ට ගහලා බැනලා බය කලාට පස්සෙ ඌ තවදුරටත් නොදන්න දෙයක් හෝ හිතට ඇතිවෙන ප්‍රශ්ණයක් අහන්න දැනගන්න පෙළඹෙන්නෙ නෑනෙ.

එතනින් එහාට විශ්වවිද්‍යාලෙකට ගියාම ජේස්ටෞත්තමයො කියන එක හා කියලා අහන් ඉන්නවා. ප්‍රස්ණ අහන්න දෙන්නෙ නෑ. උන් කියන ඔක්කොම කරනවා.. ඇයි මං ඔයා කියන ඇඳුම අඳින්න ඕනෙ කියලා අහන්න හයියක් නෑ. එතනින් ඉතිරි කොන්දත් කඩලා ඉවරයක් කරනවා. පස්සෙ ඒ සිස්ටම් එකේම ගොදුරක් වෙලා ඒ පීඩනයත් ආයෙ පොඩි උන්ගෙ පිටින් පිට කරනවා.. එකෙක් දෙන්නෙක් බේරෙනවා. එතන ගුරුවරුන්වවත් ප්‍රස්න කරන්න බෑ.. බයයි ඩිග්‍රිය නිවන් යයි කියලා.. ඔහොම ඔහොම උඩට උඩට දිගටම ඕක වෙනවා..

 උසස් අධ්‍යාපනෙන් නැතුව හෝ ඇතුව මහ සමාජෙට ගියාමත්, රස්සාවෙදිත් ඕක ඔහොම්මම වෙනවා.
අවසානෙදි තමන්ගෙ සල්ලි වලින් තමන්ගෙ වැඩ කරෝගන්න පත් කරපු දේසපාලන නියෝජිතයට පවා දණගහලා වන්දනා කරන වහලෙක් බිහිවෙලා ඉවරයි.   බස් එකේ කොන්දොස්තරව, රජයේ සේවකයට පවා කොන්ද නවාගෙන ඉන්නවා. තමන්ගෙ වැඩක් කරගන්න පොලීසියට ගියාම පොලීසියෙන් ණයක් ගන්න ආවා වගේ තත්වෙකින් ඉන්න ගන්නවා. තමන්ගෙ අයිතිවාසිකම් වෙනුවෙන් කතා කරන්න ලියන්න බය වෙච්ච පෞරුෂය හීන වෙච්ච සමාජයක් එලියට එනවා.

ඊළඟට ඌට ලැබුණ පීඩනය ඌ කලින් උන් වගේම ඌට පහල උන්ගෙන් පිටකරනවා.. යටම ඉන්න එකා තැලිලා පොඩිවෙලා ඌත් අර වගේම එකෙක් බවට පත්වෙනවා.

ස්වාධීන පුරවැසියෙක් බිහිකරන්න අඩිතාලම දාන්න ඕනෙ පාසලෙන්. ළමයෙක්ගෙ මූලික සංවර්ධන අවධිය තියෙන්නෙ එතන. එතන නොහදා කවදාවත්  එතනින් වහලෙක් වෙලා එලියට ආවට පස්සෙ ආයෙ උගෙ දංවැල් ගලෝන එක ලේසි වැඩක් නෙමෙයි..

ඒක හින්දා ගුරුවරුන් හදන්න ඕනෙ ස්වාධීන මිනිහෙක් මිසක් ගහලා බැනලා බයකරපු කොන්ද නැති වහලෙක් නෙමෙයි.
දඬුවම් දෙන රටවල් සහ දඬුවම් නොදෙන රටවල් අතර ළමයින්ගෙ අධ්‍යාපනය හා පෞරුෂය ගැන සංසංදනය කලොත් එහෙම ඒ වෙනස හොඳින්ම පේනවා..

අපිට බයගුල්ලො. ඒ පීඩනය පහල එකාගෙන් පිටකරන පරපීඩකයො ඕනෙ නෑ. අපිට ඕනෙ නිදහස් පුරවැසියො.
උන්ව හදන්න ලේ පනින්න ගහන්න ඕනෙ නෑ..
දූපතෙන් එලියට එන්න.. ලෝකෙ ඊට වැඩිය දියුණු ක්‍රම හොයාගෙන වේවැල් කෝටු නාරං සියඹලා අතු බිමින් තියලා ගොඩක් කල්..

  - චමල් අකලංක පොල්වත්තගේ

2 comments: