Saturday, February 2, 2019

නිදාස් පෙළපාළිය




ඔව් අපි මේ වසරේදීත් අබිමානවත් නිදහස සැම රීමට සැදී පැහැදී සිටිනවා. අතිගරු ජනාධිපතිතුමා ප්‍රමුඛ මහාසංගරත්නේ, අන්‍යාගමික පූජකයාණන් වහන්සේලා ඇතුළු සම්භාවනීය අමුත්තම් පෙරටුකොටගෙන බෞමිකඅකන්ඩතාවයෙන් යුතුව සමරන මේ උළෙලේ සන්නද්ධ පෙළපාළිය සමගයි ඔබ සැම මේ එක්වී සිටින්නේ..

මෙවරත් පෙළපාලියේ ඉදිරියෙන්ම ගමන් කරන්නේ තනපටය වටකෙරූ මඩුවලිගය සිය ලාංඡනය කරගත් ටසිලාංකේයාබිමානය ලොවටම විදහා පෑ HI-TAN2020 අන්තර් ග්‍රාමසේවාවසම් බැලැස්ටික මිසයිල පද්ධතියයි. ජනේරු චෞර මර්ධන සටන, සේස්ට ඔක්තෝබර් විප්ලවය ඇතුළු සංග්‍රාම භූමියේ සුවිසේසීය මෙහෙයුම් සඳහා සිව් වසරක සිට අනභිභවනීය දායකත්වයක් ලබා දෙමින් පෝරකයේ සංග්‍රාමය සඳහා මේ වන විටත් සූදානමින් සිටිනවා.

පෙළපාලියේ මීළඟට ගමන් කරන්නේ  කුලියාපිටියේ ඉංජිනේරු සේවා අංගනයේ නිශ්පාදිත  RA-BLUE වොක්ස්වැගන් යුද්ධටැංකි බලකායයි. සතුරා වික්ෂිප්ත
කරමින් එක්වර දසලක්ෂයක් සතුරන් මරාදැමිය හැකි මේ බලකාය එක්වර දසලක්ෂයක් සිටිනා යුධපිටියක් හමුවනතෙක් සීරුවන් තබා තිබෙනවා. 

දැන් ඊට පිටුපසින් ගමන් කරන්නේ RA-BLUE යුද්ධටැංකි බලකායේ පාබල රෙජිමේන්තුව වන HU-NP අනුඛණ්ඩයයි. මහබැංකු ප්‍රහාරය, පර්පචුවල් සටන, ආදී සුවිශේෂී සටන් සඳහා ප්‍රධාන දායකත්වය දක්වා සිටියේ අගමැති සම්මාන ලාභී එම අනුඛණ්ඩය විසිනුයි. එහි ඉදිරියෙන්ම ගමන් ගන්නේ ප්‍රධාන අණදෙන නිලධාරී ජෙනරාල් වික්‍රමසිංහ RN, බ්‍රිගේඩියර් මහේන්ද්‍රන් AR, දෙවන ලුතිනන් ඇලෝසියස් ARJ, බ්‍රිගේඩියර් කරුණානායක RV යන නිලධාරී මහත්වරුනුයි.

අබිමානවත් නිදහස් පෙළපාලියේ ජනාධිපතිතුමාට ආචාර කරමින් බ්‍රිතාන්‍යයේ නිශ්පාදිත DSLR රොකට් විදිනයන් සහිතව මේ ගමන් ගන්නේ "නගින්න නංගි ගහ උඩට" සිය තේමාව කරගත් ටසිරිලංකා KO-BRA අලාකණුකන්ඩයයි. දේශයේ කලාවත් සංස්කෘතියත් රැකීම සඳහා ජනාධිපතිතුමා ගේ වැඩපිළිවෙලට නායකත්වය ලබා දෙමින් පිටසක්වල ජීවීන් ලංකාවට පැමිණීමට එරෙහිව සයිබර් ක්‍රියාන්විතයේ දී සළු පරදුවට තබා ඔවුන් රාජකා රීයේ නිරත වෙනවා. එහි ඉදිරියෙන්ම ප්‍රධාන අණදෙන නිලධාරී බ්‍රිගේඩියර් වීරරත්න IRJ ,  කෝප්‍රල් ටිල් F , බලගන නායිකා හංසමාලි P , ගමන් කරනවා.

ඔව් දැන් අපිට අහස ගුගුරවමින් පොළොව දෙබෑ කරමින් ගමන් ගන්නා ප්‍රහාරක ගුවන් යානා දැකගන්න පුළුවන්. ධජ දරා ඉදිරියෙන්ම කරනම් ගසමින් ගමන් කරන්නේ අභ්‍යාවකාශ ඉංජිනේරු ගුවන් කොමදෝරු රාජපක්ස ROH විසින් මුදමැලන රාජපක්ස අන්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ දී නිශ්පාදනය කරන ලද CHI-CHI2015 ප්‍රහාරක මිසයිල දරාගත් ජෙට් යානා යි. සතුරා හඹාගොස් පහර දීම, ගුවනේ සිට මහමග ගමන් ගන්නා වාහනයක සිටින සතුරු ඉලක්කයක් බාබකිව් වීම දක්වා එල්ලකල හැකි වෙඩි බලයකින් මෙම යානා සන්නද්ධයි.

ඔබට මේ පෙනෙන්නේ සුන්දර සුකොමාල සිනහවකින් ගමන් ගන්නා බලාකලකායට අනුබද්ධිත පොහොට්ටුව සිය ලාංඡනය කරගත් "භුධු භණඨ හීළෑ වුණ යඛ්ඛ්හු භොළව්.." කාන්තා බලකායයි. සුන්දර සුකොමාල වුවත් සතුරා ඉදිරියේ අප්‍රතිහත අධිෂ්ඨානයෙන් කටයුතු කරන මෙම බලකායට අණදෙනු ලබන්නේ බලගණ නායිකා දමයන්ති ANU මෙනවියයි.

ඔව් මීළඟට අපිට පෙනෙනවා අහස සූරන ගොඩනැගිලි මත සිට සහ KUMARA - 6 හෙලිකොප්ටර් යානා මත සිට රතු බලකා පැරෂුට් සෙබලුන් වරාය නගරය මත ගොඩගසන ලද ටසිරිලංකාවේ අවසන් කළුගල් කුට්ටිය මතට පැනීමට සූදානම් වන ආකාරය. ධනේශ්වරයේ තුන්වෙනි කාර්තුවේ පෞද්ගලික සමාගම් විසින් පරිධියේ සිටිනා පීඩිත රටවලට එල්ල කරන ලද ප්‍රහාරයන්ට එරෙහිව අභීතව සටන් කරනා මෙම බලගණයේ අද පැරසුට් සංදර්ශනයේ විශේෂත්වය වන්නේ පෞද්ගලික අංශය මගින් නිශ්පාදිත පැරෂුට් වර්ජනය කර සංදර්ශනය ඉදිරිපත් කිරීමයි.

මීළඟට පෙළපාලියේ රටට ඉතාම සුවිෂේශී රෙජිමේන්තුවක් වන අධිමානසික බුද්ධි බලකාය ගමන් කරනවා. වාලම්පුරිය වට කරගත් සෞරග්‍රහ මණ්ඩලය සිය ධජය කරගත් මෙම බලකාය මගින්, සතුරාගේ ධන විනාස කිරීම, පෞල් ආරවුල් ඇති කිරීම මෙන්ම සටනකට පෙර අනාගතය අංජනම් බැලීම සහ ත්‍රිවිද හමුදාවේ සෙබලුන්ගේ ජීවිතාරක්ෂාව සඳහා කේන්දර බැලීම, පාංගෙඩියේ ගුරුකම, සුර එල්ලීම, සටනට පෙර නැකැත් බැලීම, පිල්ලි යැවීම, බලි ඇරීම, සංග්‍රාම භූමියේ වාලම්පුරි වැලලීම සිදුකරනවා. එහි අණ දෙන නිලධාරීන් ලෙස කොමදෝරු පිංජුල මාරිස්, මේජර් වනිගරත්න ASR, ලුතිනන් දිසානායක KIR ගමන් කරනවා.

සුදු සහ නිල් පැහැති නිල ඇඳුමෙන් සැරසී මේ ගමන් කරන්නේ ටසිරිලංකා සංචාරක බලකායයි. ගුවන් හමුදාවට අනුබද්ධිතව, සතුරන්ගේ භූමියටම ගොස් පහරදී නැවත ක්ෂණිකව පැමිණීමේ සුවිශේෂී හැකියාවෙන් සමන්විත මේ බලකායට දින පහක සටනක් දින එකහමාරකින් නිමකිරීමේ පුහුණුවකින් සන්නද්ධයි. මේ පෙනෙන්නේ 00-MAAL CHUTI -PUTHA මල්ටි බැරල් රොකට් විදිනයයි. එයට පසුපසින් ලාන්ස් කෝප්‍රල් මෙන්ඩිස් ku විසින් නිශ්පාදිත AWA-GIYA මෝටාර් ගමන් කරනවා. මෙම අවි වලට සතුරු භූමියට ගොස් ක්ෂණිකව පහරදී නැවත පැමිණීමේ සුවිශේෂ හැකියාවක් පවතිනවා. මෙම බලකාය බාර අණදෙන නිලධාරී ලෙස මේජර් හතුරුසිංහ, ප්‍රධාන නිලධාරිනිය ලෙස ලුතිනන් පෙරේරා TI මහත්මිය ගමන් කරනවා.

ටාන..නාන..නන නානන...නානන.... ටාන නාන නන නාන නා....
නා..නා නා..නා...නා...නා...නා..

නාගිනා, ඩූම් තූර්යවාදන හඬ මධ්‍යයේ ගමන් ගන්නේ ටර්බෝ ඉන්ටර්කූලර් අසෝක් ලේලන්ඩ් සන්නාහසන්නද්ධ යුද්ධ ටැංකි පෙළයි.  සතුරු භූමියේ සැඟවී සිට ක්ෂණිකව සහරා - FLASH ලේසර් ධාරාවන් සහ ශබ්ධයන් යොදා ගනිමින් සතුරු දෑස් නිලංකාර කර, කන් බිහිරි කර එයිනුත් මෙල්ල නොවූ විට අවසානයේ සතුරාගේ සිරුරු මතින් ගමන් කරමින් පාබල හමුදා සඳහා මාර්ගය සලසා දීමට මෙම බලකාය සමත් වෙනවා. Raji - dam , kurutta-vise , Raji-veli, යන ප්‍රධාන යුද්ධ ටැංකි පෙළ ආචාර පෙළපාලියේ දැන් ගමන් කරනවා.

ඊට පසුපසින් ස්මාට්පෝන්, පේපර් නයිෆ්ස්, අඟල් එකහමාර සුදු යකඩ චේනයෙන් , 17 1/2 ටීෂර්ටය , ත්‍රී ක්වාටර් කලිසම සහ තොප්පියෙන් අංගසම්පූර්ණව " කාටවත් පදිරි නෑ @#රියෝ " තේමාව කරගත් 14න් පහළ සමස්ථලංකා සිඟිතිපාතාලය ගමන් කරනවා.  දේශයේ අනාගතය බාර ගැනීමට බලාසිටින හෙට දවසේ වීරයන් ලෙස කිරුළු පැළඳීමට නියමිත ඔවුන්ව ජනාධිපතිතුමා විසින් සේනා දළඹුවන් මර්දනය කිරීම සඳහා රාජකාරියට අන්යුක්ත කිරීමට සූදානමින් සිටිනවා.

දැන් ගමන් කරන්නේ සන්නාහසන්නද්ධ දියවන්නා රෙජිමේන්තුවයි. ජීව විද්‍යාත්මක ආයුධ යොදාගෙන සතුරා මර්ධනය කිරීම සඳහා සුවිශේෂී හැකියාවකින් යුතුව ඔවුන් රටට සේවය කරනු ලබනවා. එහි ඉදිරියෙ ආචාර කරමින් සතුරාගේ දෑස් අන්ධ කරමින් ප්‍රහාර එල්ල කල හැකි භයානක mi-ris රසායනික දරාගෙන කපිතාන් රණවීර PRS , ගමන් කරනවා. ඔහුට පසුපසින් පිහි සටන් විශේෂඥ තෙවරප්පෙරුම PAL, ගමන් කරනවා.

ලද සැනින් එසැනින් පුවත්..

#චමලේNews
#අකලංකාරය
  - චමල් අකලංක පොල්වත්තගේ

3 comments: