Saturday, April 13, 2019

සාරවිට


අද හවස 119 බස් එකට නැගලා ඉස්සරහට ඇවිදගෙන එනකොට තිබුණ හිස් සීට් එකක ඉඳගත්තා. ජනේලෙ අයිනෙ හිටිය මනුස්සයව දැක්කෙ ඉඳගත්තට පස්සෙ. ඒ මනුස්සයාගෙ ඔඩොක්කුවෙ සාරවිට පෙට්ටියක්..!

සාරවිට විකුණන මනුස්සයෙක් පාරෙ දි දැක්කොත් මිසක් බස් එකකදි දකින්න නොලැබෙන විශේෂ සිදුවීමක් හින්දා මම ඒ මනුස්සයා දිහා පොඩ්ඩක් බැලුවා.

කිළුටු කළු වෙච්ච තොප්පියක් දාගෙන ජනේලෙන් එලිය බලාගෙන හිටියෙ. තොප්පිය යටින් කනට උඩින් පේන කොණ්ඩෙ බොහෝ තැන් වලින් ඉදිලා. කොටටම කපලා. මූණ රැළි වැටිලා. සාරවිට පෙට්ටිය උඩින් අත තියාගෙන හිටියෙ. සාරවිට දහයක් පහළවක් පෙට්ටියෙ හිල් වල රඳවලා තිබුණා.

ඒ මනුස්සයා කලාතුරකින් කතාකරන්න ලැබෙන කෙනෙක් හින්දා මම කතාවට අල්ලගන්න ඇහුවා..

අංකල් පන්සලේ අද  උත්සවයක් ද..?

නෑනේ...

අහ් මං හිතුවෙ අංකල් පන්සල පැත්තට යන්නෙ කියලා..



නෑ මං දෙහිවලට යන්නෙ..

අහ්.. කොහොමද අංකල් මේ දවස් වල බිස්නස්..?

වරදක් නෑ ඉතින්.. අව්ව තමයි.. කකුල් පිච්චෙනවනෙ.. හරි අමාරුයි රස්සාව කරන්න..
( අකලට වයස්ගත වෙච්ච මුහුණෙ පේෂි හරවමින් හිනාවෙලා මගෙ දිහා බලාගෙන උත්තර දෙනවා. )

(ඒ වෙලාවෙ මට ප්‍රශ්ණයක් ආවා ඇයි කකුල් පිච්චෙනවා කිව්වෙ කියලා.. නමුත් මං ඒ ගැන අහන්නෙ නැතුව කතාව අරගෙන ගියා )

පුදුම රස්නයක්නෙ තියෙන්නෙ..

ඔව් අප්පා.. උඩහටත් හොඳටම පායනවලු. ගොවිතැන් කරන මිනිස්සුන්ට හරි පාඩු ඇති මයෙ හිතේ නියඟෙ නේ..?

ඔව් අංකල්. නියඟෙ හොඳටම තියනවා.. කරන්ට් එකත් කපනවනෙ.. අංකල් කොහෙද ?

මං මට්ටක්කුලියෙ..

අහ් වැඩි දුරක් නෑනෙ..

ඔව්.. මේ ටික ඉවර උනාම යනවා.

කීයක් විතර විකිණෙනවද අංකල් දවසකට..?

පණහක් තමයි ඉතින්.

එකක් කීයද..

පණහයි..

බිස්නස් ලාබ ද ඉතින්..

ඔව් කියන්න වරදක් නෑ.. ඒ උනාට උදේට කාලා දවල්ට කාලා යනකොට ඉතින් වැඩි ලාබෙකුත් නෑ.. රෑටනං ගෙදර ගිහින්නෙ කන්නෙ..

අංකල් තනියමද ඉන්නෙ..?

නෑ මං බැඳලා..  දරුවො තුන් දෙනෙක් ඉන්නවා..

අහ්.. ඉස්කෝලෙ යනවද එයාලා..

ඔව්.. එක්කෙනෙක් එකොළහ පන්තියෙ. අනිත් එක්කෙනා දහයෙ.. පොඩි එක්කෙනා අටේ පන්තියෙ.

ඉතින් අංකල් කොච්චර කාලයක් තිස්සෙ දැං මේ බිස්නස් එක කරනවද..

අවුරුදු එකොළහක් විතර දැං...

ඉතින් වෙන රස්සාවකට කැමැත්තක් නැද්ද..

අනේ බෑනෙ ඉතින් මට..

ඒ මොකද..

මගෙ මේ කකුලෙ ආබාදෙ එක්ක බෑනෙ වෙන මුකුත් කරන්න..

(වම් කකුල උඩට උස්සලා මට පෙන්නුවා. ඒ  කකුල ආබාධිතයි. යටි පතුල කුඩා වෙලා නැවිලා ගිහින්, ඒ කකුලට සෙරප්පු නැහැ. කලින් ප්‍රශ්ණෙට මට උත්තර ලැබුණා. වෙන මුකුත් කතා කරන්න ගියෙ නෑ මම )

අනේ අංකල් මම දැක්කෙ නැතුව ඇහුවෙ.. සොරි..

අනේ ඕක මොකක්ද ඉතින්...  ( ආයෙ අර විදිහටම හිනා වෙනවා ) ගොඩක් අය මට උදව් කරනවා කකුල දැකලා. සමහරු කෑම එහෙම අරගෙන දෙනවා..

අහ් ඒකනෙ.. අංකල්‍ රස්සාවක් කරලා ජීවත් වෙනවනෙ.. ඒකම ඇතිනෙ..

මං බහින තැන ඇවිල්ලා අංකල්. අපි හම්බෙයිනෙ ආයෙ... මං යනවා..

( මං පිටට තට්ටුවක් දාලා කිව්වා. මගෙ අතින් අල්ලලා හරි හරි.. කියලා ආයෙ හිනා උනා..)

ප.ලි - මේ සටහන ලිව්වෙ කියවන්නන්ට ශෝකාකුල තත්වයක්, අනුකම්පා රසයක් උත්පාදනය කිරීමට නෙමෙයි. මම අවුරුදු දහ අටේ ඉඳලා ගෙදරින් සල්ලි නොගත්තට , සල්ලි නැතිවෙන වෙලාවල් වල දි අම්මගෙන් කීයක් හරි ඉල්ලගන්න වෙලාවල් තියනවා.

ඉතින් මේ සටහන, ඉහළ අධ්‍යාපන සුදුසුකම් තියාගෙන රැකියාවක් ඉල්ලලා පාරට බහින රටක, ආබාධිතව සාරවිට විකුණලා දරු පවුලක් නඩත්තු කරලා ජීවත් වෙන ඒ ධෛර්යයවන්ත ව්‍යාපාරික මහත්මයාට  ගෞරවයක් විදිහට ආඩම්බරෙන් සටහන් කලේ..

  - චමල් අකලංක පොල්වත්තගේ

No comments:

Post a Comment