Sunday, April 14, 2019

අවුරුදු රතිඤ්ඤා කෑම පිඟං



මේ වන විට තත්වය යහපත් ය. ගෙවුනු හෝරා කීපයේ යෙදී තිබූ බලගතුම නැකත් කිහිපය තුල තත්වය වෙනදාට වඩා ඉතා සාන්ත ය. ලිප ගිනි නිවා දමා වැඩ අතෑරීම හෙවත් නොනගත නැකත ආ බව කියන්නට ලයිටර් හෝ ගිනිකූරු ගිනි දල්වා රතිඤ්ඤා පෙට්ටි කිහිපයක් දැල්වීම , වැඩ ඇල්ලීම, කෑම, ගනුදෙනු කිරීමේ නැකත් වලට ද එසේම රතිඤ්ඤා දැල්වීම හැරෙන්නට වෙනත් රතිඤ්ඤා ප්‍රහාරයකට ලක්වූයෙ නැත.
කෑම ගැනීමේ නැකතට කොකිසක් කටේ ඔබාගෙන කිරිබත් කෑල්ලක් උගුරෙන් පල්ලෙහාට යාමට කලින් සර්ව සකල වස්‍තරාබරණයෙන් සැරසී හතර අතම බලා පෝසිලේන් පිඟානකට අග්ගලා කැවුම් ආස්මි බඩෛරිඟු සව්කොල මාස් මෙලෝස් හෝ පුරෝගෙන ගෙදර බෙල් එක උඩ නගින උන්ද 
අඩු ය. පිඟන් උස්සන් දුවන උන් කඩෙන් සීයයි උගෙන් විස්සයි දී ගන්නා ලිතෙයි පොතෙයි  අපේ අගමැතිතුමා එවපු නැකත්පතට වඩා වෙනස් පතක් තියනවා ය. ඒ පිඟන් උස්සං යාමේ නැකතයි . වෙන උන් නොනගතේ වෙලාවට පන්සල් යාම, නිදාගැනීම, කැට ගැසීම, නලු නිලියන්ගේ  ජහුටා බැලීම කෙරුවද මුං කරන්නේ මේසෙ උඩ ගෙදර ඇති පෝසිලේන්, ප්ලාස්ටික් , බෙලෙක්ක , පිඟන් තඹ සාස්පාං හෝ තබා මොන මොනවාහරි පුරවා පත්තරවලින් වැසීමය. ඉන්පසු ගෙදර ඉන්නා අම්මා තාත්තා බාප්පා පුංචි අම්මා අක්කා නංගි අයියා මල්ලි කකුල නැති සීයා අංසබාගෙ හැදුන ආච්චි පවා, පිඟන් පහකට කොත්තු දෙකක් ඉල්ලූ මේසෙකට කොත්තු ගේන වේටර්මෙන් අත් කකුල් වල, තුනටියේ පිඟන් තබාගෙන රබාන රත්වෙන නැකත් වෙලාවේ රතිඤ්ඤයක් පත්තු වූ ගමං රෙද්ද කඩාගෙන ගෙවල් වල බෙල් ගැහීමට දුවයි. ඇන්ටි පිඟානක් දී ගිය පසු, කෙල්ලද පිඟානක් උස්සාගෙන ඇවිත් බෙල් ගහයි. "අම්මා ඇවිල්ලා දුන්නානෙ දුවේ.. අඥේ ඇච්චද. ෂොලි ආංචි වැලජිලානෙ මච.." ආයෙ රෙදි උස්සං දුවයි. Pingan mi කියා ඇප් එකක් හදාගෙන කෑම බෙදන්න යයිද කියා හිතෙන තරමටම උන්ට කුලප්පුවය.  නැකත පටන් ගත්ත ගමන් තොපි රතිඤ්ඤා දාපු බල්ලා වගේ පිඟං උස්සං දුවනකොට ගේට්ටුව අරින්න එවන්න අපිව යකෝ.  ආවට කමක් නෑ අපිත් කනකං හිටහං.  උඹලත් කාලා පාඩුවෙ වරෙං. අපි ගෙවල් අතෑරලා යන්නෑ..
ඒ මොන මගුලක්ද මං ඒ කියෙව්වෙ.  කෙසේ හෝ සටන් විරාමයක් ප්‍රකාස කල නන්දිකඩාල් පුදුකුඩුඉරිප්පු මෙන් ලේන් එක නිසංසලා වූයේ ඇයි ද කියා බලන විට අම්මාගෙන් යම් හෝඩුවාවක් දැනගන්නට ලැබුණි. හත්තිලව්වේ ගෙවල් දෙක තුනක් පහලින් ගෙදරක කුලියට සිටි පොඩි වසවර්ති මාරයං හතර පස් දෙනෙකුගේ පවුලක් ගෙවල් අතෑර වෙන ලේන්නෙකක පදිංචියට ගොස් ඇත.
ගෙවල් ළඟ කඩේ රතිඤ්ඤා පෙට්ටි ටික වේලෙනවාය. අපේ පාරෙ බල්ලන්ට පූසන්ට අත දරුවන්ට වෙනදා පුදුමාතලන් අද පුදුම ආතලන් වී ඇත. බල්ලෝ ඇඳ යටින් එලියේය. පූසෝ තාප්ප උඩ අඩි තිය තිය හෙමෙන් යයි. ඒ හත්තිලව් කොහොම උනත් මගේ කං නං මේ අවුරුද්දෙ යහතින්. පහුගිය අවුරුද්දෙ ඉදිරි ආරස්සක වළල්ලට පාං ගන්න ගිය එකෙක් වගේ පණ බයේ හිටියෙ කොයි වෙලාවෙ හූ තියාගෙන එන විසිල් අහස් කූරක් ජනේලෙන් කාමරේ ඇතුලට පත බෑවිලා අලියට ඇහැ තියන්න රෙදි කෑල්ල නැතුව යන්න පුළුවන් වෙයි කියලා.
දෙයියනේ කියලා මේ පාර ඒ වසවර්ති මාරපැටව් ටික වෙන ලේන් එක මානුසීය මෙහෙයුම පටං අරන් ආටි ගහනවා කියලා එහෙ එකෙක් රිපෝට් කලා. අම්මපා ඕකුන්ව හම්බෙන්න ඉන්න කාලෙ උන්ගෙ අම්මලා දැයට කිරුළ බලන්න ගිහිල්ලා මල්ටිබැරල් ගාව අව්වෙ පෝලිමේ ඉඳලද කොගෙද. කොටි ගහලා මදි.
ඕකුන් අපේ අම්මා එක්ක යාලුයි. අම්මා උන්ට චූං පාං අරන් දෙනවා. ටොපි ගෙනල්ලා දෙනවා. උනුත් ඇංචී ඇංචී ගාගෙන පාරෙ සෙල්ලං කරනවා.  අන්තිමට අපේ අම්මට මගෙ කං දෙකට වැඩිය සිඟිති පාතාලෙ රතිඤ්ඤා පැටව් ටිකව ලොකු වෙලා තිබ්බෙ.. අඥේ පුචේ පොජි ළමයිනෙ කියලා. බලනවකො ඉතින් අයුක්තිය අසාධාරණය වෙනුවෙන් කතා කරන්න ගියාම ගෙදර උන්ම තමයි සිංහල ව්‍යවස්ථාව දැම්මෙ.
හම්මෝ දැං ඉතින් නිදහස්..
මේ කියවන උන්ට මතකද කවුද බෝයි එකේ මොටයියා.
අර බැලුමක එල්ලිලා ඉන්න ගමන් ජුන්ඩයියේ මගෙ බඩ කසනෝ කියලා කිව්වෙ. උගෙ කකුල් දෙකේ තමයි පෝලිමට අනිත් අයියලා හතර දෙනත් එල්ලිලා හිටියෙ.
ඒ වෙලාවෙ ජුන්ඩයියා කියනවා මොටයියෙ ඔයා දැන් බඩ කැසුවොත් ඒක බඩ කසන අන්තිම පාර වෙයි කියලා.
එතකොට මොටයියා බැලුම අතෑරලා බඩ කසනවා. කසන ගමං කියනවා. අම්මෝ දැනෙන සනීපේ කියලා.
අර පුතාලා ටිකගෙ රතිඤ්ඤා නැතුව මටත් එහෙම සනීපයක් දැනෙන්නෙ..
#අකලංකාරය
  - චමල් අකලංක පොල්වත්තගේ

No comments:

Post a Comment