Wednesday, March 25, 2020

The Book Thief



Markus Zusak ගේ සුප්‍රකට The Book Thief කෘතිය පාදක කරගෙන නිර්මාණය කරන ලද The Book Thief චිත්‍රපටයේ එක් දර්ශනයක මේ වාක්‍ය ඛණ්ඩය කියැවෙනවා..

"While ten thousand souls hid their heads in fear and trembled, one jew thanked God for the stars that blessed his eyes."

මේ දර්ශනයට පදනම් වන කතාව මෙයයි.,

 ලිසෙල් නම් චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කරන ජර්මානු දැරියව දරුකමට හදාවඩාගන්නේ හියුබර්මන් යුවලයි. දෙවනි ලෝක යුද්ධය ඇවිලෙමින් පවතින සමයේ නාසි හිට්ලර් හස්තයෙන් පාලනය වෙමින් මොවුන් ජීවත් වන්නේ ජර්මනියේ පුංචි නගරයක. හියුබර්මන් මහතා

පින්තාරුකරුවෙක්. හියුබර්මන් මහත්මිය රෙදි සෝදන්නියක් . හියුබර්මන් මහත්මයා පළමු ලෝක යුද්ධයේ සොල්දාදුවකු වශයෙන් සේවය කරන විට ඔහුගේ ජීවිතය බේරාදෙන ලද යුදෙව් මිත්‍රයාගේ මැක්ස් නම් පුත්‍රයා දිනක් දැඩි අසනීප සහිතව හියුබර්මන් මහතාගේ රැකවරණය පතා පැමිණෙනවා. ඔහු මැක්ස්ව සිය අඳුරු බිම් මහලේ සඟවා රැකවරණය ලබා දෙනවා.
නාසි ජර්මනියේ උච්ඡතම මොහොතේ යුදෙව්වෙකුට රැකවරණය දීම කෙතරම් භයංකර දෙයක්ද කියා මා ඔබට අමුතුවෙන් කිව යුතු නැහැ. නමුත්, හියුබර්මන් පවුලේ පමණක් නොවෙයි ඔවුන්ගේ පරම්පරාවන්ගේම ජීවිත ගෑස් කුටියකින් කෙළවර වීමේ අවධානම ඔවුන් ගන්නවා.

මැක්ස් ලිසෙල් සමග විවිධ දේ කතා බස් කරමින් දිගටම සැඟවී සිටිනවා. ඔහුට පැනයාමට ඉඩක් ලැබෙනතෙක්, සුවවනතෙක් ඔහු සැඟවී සිටිනවා.මාස ගණනකින් ඔහු හිරු එළිය දැක නැහැ. පිටත පරිසරය ගැන ඔහු අසා දැනගන්නේ ලීසෙල්ගෙන්. හිරු එළිය, වළාකුළු, වැස්ස, කුරුල්ලො, ආදී හැම දෙයක් ගැනම ඔහුට තිබෙන්නේ ලිසෙල්ගෙන් අසා මවාගන්නා ලද චිත්තරූප පමණයි. ඔහු ඒ චිත්තරූප ගඩොල් බිත්තිවල සිතුවම් කරනවා.. සිරකරුවෙකු නොවන සිරකරුවෙක්.

දිනක රාත්‍රියේ හියුබර්මන් පවුල සිටින නගරයට ගුවන් ප්‍රහාරයක් එල්ල වනවා. සැඟවීමේ දැනුම් දීම කරන සයිරන් නලා නාද වෙනවා. නගරයේම මිනිස්සු ඒ වෙනුවෙන්ම සැකසූ ශක්තිමත් කොන්ක්‍රීට් බංකර ඇති නිවෙස් වල බිම් මහල්වලට වහා දිව යනවා..
ලිසෙල්, හියුබර්මන් මහතා මහත්මිය ඇතුළු හැමදෙනාම අසල්වාසී බිම් මහලක සැඟවෙනවා.

මැක්ස් පමණක් අඳුරු බිම් මහලේ තනිවම සිටිනවා. ඔහු ක්ෂණික තීරණයක් ගන්නවා.

 ගුවන් ප්‍රහාර නිසා බළලෙකුවත් නොමැති නගරයේ, සිය නිවස ඉදිරිපිට වීථියට අඳුරු  බිම් මහලේ සිට මැක්ස් පැමිණෙනවා. ගුවනින් හෙලන ටොන් ගණනක පුපුරනද්‍රව්‍ය පිරවූ බෝම්බ වලට බියෙන් දහස් ගණනක් දෙනා බිම් මහල්වල සැඟවී සිටින විට, මාස ගණනක් බිම් මහලේ සැඟව සිටි මරණ වරෙන්තුව අත දරාගත් යුදෙව් තරුණයා එළියට පැමිණ අහසේ තරු දිහා බලනවා.. ඔහු හිනාවෙනවා..

ඒ මොහොතේදි පෙර සටහන් කළ වාක්‍ය ඛණ්ඩය කියැවෙනවා...

"දස දහස් ගණනක ආත්මයන් බියෙන් කම්පණයෙන් ඔවුන්ගේ හිස් සඟවා ගන්නා මොහොතකදි, එක් යුදෙව් තරුණයෙක්ට දෙවියන්ට ස්තූතිවන්ත වෙනවා ඔහුගේ ඇස් වලට ආශිර්වාදයක් තාරකාවන් වෙනුවෙන්.."

සියල්ලන්ම මරණ බියෙන් තැතිගන්න මොහොතක්, එවැනිම මරණයක් නලලේ හංවඩු ගැසූ එක් මනුශ්‍යයෙක්ගේ ජීවිතයට කාලයකින් ලැබෙන තෘප්තිමත්ම මොහොත බවට පත්වෙන්න පුලුවන්..!

නිකමට හිතන්න,

මව්පියන් දෙදෙනාම රැකියාවට යන නිවසක පුංචි දැරියක් ගැන.
මුළු රටම වෛරසයකට බියෙන් ගෙවල් වලට වෙලා ඉන්න වෙලාවක ඇය ඇගේ ජීවිතයේ සතුටුම සතිය ගතකරනවා වෙන්න පුලුවන් !
තව අවුරුදු දහයකින් පස්සෙත් අම්මා තාත්තා එක්ක ගතකරපු මේ සතිය ඇගේ ජීවිතේ සතුටුම දවස් පහ හය වෙන්න පුලුවන්..!

මම ආයෙ බ්ලොග් එක ලියන්න පටන් ගත්තා..!!

  - චමල් අකලංක පොල්වත්තගේ








2 comments:

  1. I admire your thoughts. Keep up the good work. Thank you Mr Polwattage.

    ReplyDelete
  2. වැඩිහිටියන් හැමෝම බියෙන් ගැහෙන තත්වයකට ඇද දැමූ කොරෝනාව..! ඔබ කියන්නාක් මෙන්, හැන්දෑවට හෝ රෑ නිදිමතේ පමනක් අම්මයි තාත්තයි සතියේ දවස් වලදි දැක ගන්නට ලැබෙන කුඩා දරුවෙකුට සැඟවී ආව අවුරුදු තෑග්ගක් වගේ දැනෙනව ඇති...

    ඒත්.. මගෙ හිතට පුංචි අපහසුවක් දැනෙනව. ඔබ ඇඳපු සුන්ඳර සිතුවමට කහට කෝප්පයක් වීසිකරනව වගේ දෙයක් කරනවා යයි සිතුනොත් ඒ ගැන කනගාටුයි. පසුගිය දවසක හෙද නිලදාරිනියක් කීව කියලා යූ නාලිකාවේ කතා කරන මහතෙක් කීව දෙයක් නිසා තමයි මගෙ හිත මේ විදියට කොනිති ගහනව වගේ දැනෙන්න ගත්තෙ, ඔබේ බ්ලොග් සටහන කියෙව්වට පස්සෙ.

    ඇඳිරි නීතිය පටන් ගත්තට පස්සෙ ගෙදර ඉන්න පුරුශයන්ගේ පහරදීම් වලට ලක් වෙලා හදිසි අනතුරු වාට්ටුවට එන කාන්තාවන් ගාන වෙනදාට වඩා වැඩි වෙලා කියලා ඒ සාකච්චාවේදි කියැවුනා. වැඩට යන අය ඒ සුපුරුදු රටාවෙන් පිට පැනල හදිසියේම පැය විසිහතරෙම අඹු දරුවන් එක්ක ඉන්න වුනාම ඇතිවියහැකි "ආතතිය" නිසාලු මේ වගෙ වෙන්නෙ.

    ඉතින්.. මට නිකමට හිතෙනව.. කොරෝනාව නිසා ගෙදරට කොටුවුන අම්මයි තාත්තයි ගහ මරාගන්නවනම්.. පොඩි එකීට හිතෙයි "අනේ දෙයියනේ ඉක්මනට ආපහු ඉස්කෝලෙ පටන් අරන්, අම්මයි තාත්තයි වෙනද වගේ උදේ ඉඳන් රෑ වෙනකල් ගෙයින් පිට වෙලා වැඩට ගිහින්, මට කනක් ඇහිල ඉන්න පුලුවන් දවසක් එන්නෙ කවද්ද..?" කියලා.

    හැමෝටම නෙවෙයි, සමහර ලමුන්ට ඒ වගේ හිතෙන්න බැරි නෑ, එක වහල යට අමුත්තො වගේ ජීවත් වෙන වැඩිහිටියන් ඉන්න මේ කාලෙ.. එවැනි දරුවෙක් තව අවුරුදු දහයකින් මේ කොරෝනා සමයේ මතක ගැන කොහොම හිතාවිද??

    ReplyDelete