Thursday, August 31, 2017

සඳ මිතුරි සිත මිහිරි කල මැනවී...!!


කාලෙකට පස්සෙ වහින වැස්සක්..
කෝපි එකක්..

" පිණි වැස්ස වස්සන්න මද්දහන තෙත්වෙන්න...
ආදරය දලුලන්න මිහිකත මතින්...."

වැස්ස කියා වෙනසක් නැතිව වියළුන හදවතකට පිනිවැස්ස වී ගැඹුරටම යන්නට කසුන්ගෙ කටහඬට පුළුවන්.
ප්‍රේමය කියන්නෙ පුදුමාකාර දෙයක්. මිනිස්සු බිලියන හතටම බිලියන හත් විදිහකින් දැනෙන මානවයන්ටම උරුම වුණ ප්‍රබලතම හැඟීම වෙන්න ඇති. මිනිස්සුන්ට වර්ගයා බෝ කිරීමේ අරමුණින් හෝමෝන ශ්‍රාවය මගින් ඇති කරන ලිංගික ආකර්ශනය ඇතිකිරීමට කරන ජීව විද්‍යානුකූල රැවටීමකි.. එසේත් නොවන වෙන කුමන හෝ පවතින විද්‍යාත්මක ක්‍රියාවලියකින් පැහැදිලි කල නොහැකි විඥානවාදී හැඟීමක් හෝ වේවා මම එයට අතිශය කැමැත්තෙමි..
එමෙන්ම අන් සතුන්ට එහා ගිය වර්ගයා බෝ කිරීමෙන් පමණක් නොනැවතුණු මිනිසාගේ  ප්‍රේමයට විඥනවාදී නැඹුරුවක් හෝ අර්තයක් සැපයීමට මම වඩාත් කැමැත්තෙමි.
මේ ගීයට මම විශේෂයෙන් ඇළුම් කරන්නේ එබැවිනි.
ප්‍රේම ෆැන්ටසිය අතිශය සුන්දරය. ගැඹුරු මානව හැඟීම් සියල්ලටම එකසේ ආමන්ත්‍රණය කරන්නට ප්‍රේමය සමත්වෙයි.
වර්තමාන ආර්ථික දේශපාලනික සමාජ යථාර්ථයක් තුල ප්‍රේමයට ඇත්තේ විවිධාකාර කියවීමක් වන නමුත් ප්‍රේම කරන්නෙකුගේ දේශපාලන සමාජ ආර්ථික  කියවීම කුමක්  වුවත් ඉල්ලන්නේ තම ජීවිතයේ වෙනසක් වන්නට කියා පමණි.



ඒ ආර්ථික දේශපාලනික සමාජ යතාර්තය තුල ප්‍රේමයෙන් බලාපොරොත්තු වන්නේ ජීවත්වන ක්‍රමයෙන් වෙනසකි.බෙදාගැනීමකි. ප්‍රේමය සමාජවාදී ද ධනවාදී ද කියා නොදනිමි.. ප්‍රේමය ප්‍රාග්ධනයට යටවී ඇත, ප්‍රේමය විකිණෙයි, ප්‍රේමයට මිලක් ඇත, ප්‍රේමය දේශපාලනිකයි, ප්‍රේමය තරඟකාරී වී ඇත.. ආදී තර්ක වාමාංශිකයන් දක්ෂිණාංශිකයන් හෝ කුමන පාර්ශවයක් ගෙනාවත් එය විශ්වාස නොකරමි. එසේ වී ඇත්නම් එසේ වී ඇත්තේ ප්‍රේමයට නොව වෙන කුමකට හෝ විය හැක.. එසේ වී ඇත්නම් එසේ වී ඇති ජීවිත ඉල්ලන්නේද ප්‍රේමයයි..
එනම් විකල්පය ප්‍රේමයයි.. ප්‍රේමය කිසිදා මිල වන්නේ නැත. මිහිකත මත ප්‍රේමය දළුලෑ දිනක ප්‍රේමයේ පිණිබිඳු වලින් ගිනියම් මද්දහන තෙත්වී යනු ඇත.

සඳ මිතුරිය හෙවත් පරම පෙම්වතිය., ප්‍රේමයේ අවසාන ෆැන්ටසියයි. තම ජීවිතයේ අනෙකා වීමට, තම ජීවිතයේ වෙනස බලාපොරොත්තු වන ප්‍රේමයේ බීජය වන්නේ පරම පෙම්වතියයි..  සිත මිහිරි කරවන,වියලි බව පිපාසය නැතිකරන මායාකාරිය ඇයයි..
ඉතින් ඇයට ආරාධනා කරමි..

ආර්ථික දේශපාලනික යථාර්ථය තුල මිනිසාට ස්වාධීන විය නොහැකි කුමන හෝ බැඳීමකින් ගැටගැසී ඇත.. ප්‍රේමය එයින් වියුක්තය.. මම අනෙකෙකු නොව මම මමම ලෙස ස්වාධීනව උත්කර්ෂයට නංවන සිහිනයේ බීජය ප්‍රේමයයි.. එහි නිමැවුම්කාරිය, පරම පෙම්වතිය ඔබයි..  යථාර්ථය ඉක්මවූ නව ලෝකය නිමවන්නේ ප්‍රේමයයි.. එම ප්‍රේමයේ නිමැවුම්කාරිය නුඹය.. මෙලොව සුන්දරම දේ කවිය කියා මම විශ්වාස කරමි. එසේනම් එය පඹදින්නේ නුඹය..
ගොඩනැගූ ලෝකයේ ගිනියමට හේතුව ප්‍රේමයේ බීජ මියයාමය.. ඉතින් පරම පෙම්වතිය.. නුඹ නැවතත් ඒ ප්‍රේම බීජ දළුලෑමට ඉඩහරින්න..

ප්‍රේමයට ප්‍රේමය වෙන්නට ඉඩහරින්න.ඔබ ගොඩනැගූ නවලොව තුල ඒ ප්‍රේම වැස්සේ තෙමෙන්න ඉඩදෙන්න.. නැවත්ත් හෙම්බත්වූ ජීවිතයට පණ දෙන්න.. එය කළ හැකිවනුයේ ප්‍රේමයටයි.
එහි නිමැවුම්කාරිය පරම පෙම්වතිය.., නුඹයි..!!

ඔව් මේ ප්‍රේමය ඉල්ලන්නෙකුගේ ෆැන්ටසියයි.. ඒ ආකාරයේ ප්‍රේමයක් කිසිදා අපට හමු නොවනු ඇත.. මෙය යතාර්තය නොවන බව දනිමි.. නමුත් මම ඒ ෆැන්ටසියට ආදරය කරමි. ඒ ෆැන්ටසිය යථාර්ථය කිරීමට වෙහෙසෙන ලෝකයට ප්‍රේම කරමි.


ඉගිලෙන්න ඔබ එක්ක ආකාසේ
විදගන්න ඒ සිසිල මා සිත්සේ
මට දෙන්න ඒ වරම කවදාද ඔබ එන්නෙ
පිණි බිංදු මල් වැහි අරන්....
සඳ මිතුරි සිත මිහිරි කළ මැනවි
බිඳු කදුලු පිණි පොකුරු කළ මැනවි...

මට මම ම වී ඉන්න ලෝකෙන් ඉඩක් නොදෙන
ඈතට වෙලා අපිම අපි වී ඉතින්
නව ලොවට මුල් අණු වෙන්න
මිල නොවන පෙම් කවිය පබඳින්න
පිනි වැස්ස වස්සන්න මද්දහන තෙත් වෙන්න
ආදරය දළුලන්න මිහිකත මතින්
සිහිනේ සරනා කිරණින් දැවෙනා..


ඉගිලෙන්න ඔබ එක්ක ආකාසේ...

ජීවිතය විඳගන්න ලෝකෙන් ඉඩක් නොදෙන
ඈතට වෙලා තෙමෙමු පිණි වැහි පොදින්
ප්‍රේමයට ප්‍රේමය වෙන්න
නිල නොවන ජිවිතය පුබුදන්න
පිණි වැස්ස වස්සන්න මද්දහන තෙත් වෙන්න
ආදරය දළුලන්න මිහිකත මතින්
සිහිනේ සරනා කිරණින් දැවෙනා..

ඉගිලෙන්න ඔබ එක්ක ආකාසේ... //

(ගායනය - කසුන් කල්හාර
පද රචනය - අචල සොලමන්ස්
සංගීතය - රාජ්කුමාර් තිල්ලෙයංපලම් )

#අකලංකාරය
  - චමල් අකලංක පොල්වත්තගේ

5 comments:

  1. Kasuns' best song
    One of my all time favorites
    Excellent music

    Good writing!

    ReplyDelete

  2. Cold night is mostly appropriate to listen to this one i believe :)

    https://www.youtube.com/watch?v=kmhp34wbjXQ

    ReplyDelete
  3. Raj also did a Tamil version for this song with S P Balasubramaniam. But I can't tell anything about the meaning of that song as I do not understand Tamil.

    https://www.youtube.com/watch?v=CK_eV0Ik2mg&hl=en&persist_hl=1&gl=US

    ReplyDelete