Saturday, April 14, 2018

සුබ අලුත් අවුරුද්දක් වේවා..!!

අමිතා වැදිසිංහට අනුව මන්ද කොහා හැංගිලා හඬලන්නේ ලන්ද දිගේ රුක්අත්තන මල් පිපුණ නිසා හෝ කන්ද උඩින් හඳ පායන ලීලා නිසා ද හෝ විය හැකි වුවත් මල්ලිට මිහිරට සීපද ගීත ගයන්නට කියා හංදියේ අවුරුදු එද්දී නංගිට මුවා වෙන්නට කියා සුනිල් එදිරිසිංහ කීම ස්ත්‍රීවාදී කෝණයෙන් බලනා කල වැරදිය. සල්මාන් ඛාන්ලා හැමතැනම ඉන්නා අතර පොසොනුත් ළඟ නිසා තිස්ස අත්තනායක එම් හේරත් ලා ද නිතර ටීවී රේඩියෝවල ගැවසෙයි. .කොහොමහරි ඒ වෙලාවේ කිරි උතුරෝන නැකතේදී ටීවි එකේ ගියේ නන්දා මාලනීගේ මාල පබලු වැල් කරවට ලන්නට දවසක් ඒවිලු බිනර මහේ... බිනර මහේ. ගීතය නිසා එය ඇසී ඇහැරුන මා බැලුවේ යකෝ නොනගතේ වෙලාවේ නිදාගෙන සැප්තැම්බර් මාසෙන් ඇහැරුනේ කොහොමද කියා ය.

සැප්තැම්බර් කියන්නේ බුක් පෙයාර් මාසය නිසා තෝඩු අරුංගල් නෙමෙයි ඒ කාලෙට අතේ කරේ එල්ලන් එන්නේ පොත් ය. ඇඳුම් මාල කරාඹු එල්ලන් එන්නේ අවුරුදු කාලේ වන අතර ඇඳුම් ගැනීමට ගිය සිය බිරිඳ වූ මැංගිරි ඩිනිකා අතුරුදන් වීම නිසා ඇය සොයා "බා බා බා කිකිළී.. ඊයෙ උදේ ගිය කිකිළී.. තාම ආවෙ නෑ කිකිළී.. බා බා බා... කියන්නේ ලයනල් රංවල ය... ඔය බා බා බා කෑල්ල දමා ඇත්තේ චතුර සේනාරත්න කුඩා කාලයේ රංවල බලකායේ ලයනල් රංවලට ජන ගී හොයා දෙද්දී බවට රාවයක් ඇත. ලයනල් රංවල එහෙම කිව්වාට බෙග් මාස්ටර්ගෙ කාලේ ගෑනු ළමයි නං ඔය කෝලම් කර නැති අතර ගමේ ළඳුන් කොමල පපා උදේ රබානක් පැලුවා.. කියන්නේ ඒකය. ගෑනු ළමයි රබාන පැලුවාට මිල්ටන් නීලානං කියන්නේ රබාන රත්වෙන නැකත් වෙලාවට නලාව පිඹපං කොහෝ කොහෝ කියා ය.  කොහෝ කියන්නද නලාව ගහන්නද කියලා එකක් හරියට කියහන් මිනිහෝ කියා කොහා බැන්න කතාව සින්දුවේ නැත.

කොහොම හරි අපේ ගම්වල නැකත් වෙලාවට කොහා තියා කපුටෙක්වත් කෑගහන්නේ නැති අතර ඒ වෙනුවට කෑගහන්නේ ටීවී එකේ ජෝතිස  බුවා ලා ය. අද කිව්වේ නැගෙනහිරට කිරි ඉතිරීම වාසනාවන්තය කියාය. මං හිතුවේ අවුරුද්දේ වාසනාවන්තම දේ ජනාධිපතිතුමාගේ මැසේජ් එක උදේපාන්දර ලැබීම බවය. කෙසේ හෝ වැඩි වාසනාව ලබා ගැනීමට මුට්ටියේ කටේ නැගෙනහිර පැත්තේ කෑල්ලක් කඩා කිරි ඉතිරී යාමට මා යෝජනා කලත් අම්මා කිව්වේ වැඩ අල්ලන නැකතට කොකිස් අච්චුවෙන් පිටේ පච්චයක් කොටන්න කලින් මල පෙරේතයා වගේ නොඉඳ මූණ හෝදන් වරෙන් කියාය.
ඒ යනාතර දැක්කේ පැමිණ ඇති සුබ පැතුම් කෙල කෝටියකි.. එසෙමෙස්ද පේස්බුක්ද වයිබරයද වට්ෂැපයද මැසේන්ජරයද බැද්දට මල්වරුසාවක් වැස්සා වගේ පිරී ඇත. සියල්ලෝ ආදරෙන් ඉන්නවානං ඒ මගේ අවුරුද්දය. රිප්ලයි කර අවසන් වෙද්දී සෝරත හාමුදුරුවෝ මහානායක වීමට ඉඩ ඇත.

ඉතින්..

සුබ අලුත් අවුරුද්දක් වේවා..!!
කෙසේ හෝ එසේම වේවා..!!
.

#අකලංකාරය
  - චමල් අකලංක පොල්වත්තගේ

No comments:

Post a Comment