Friday, April 6, 2018

ගමට කලින් හිරු

===  ===

නිර්ජනන වාදය හෝ දරුවන් හැදිය යුතුද නැතිද හෝ පිළිබඳව පවතින තත්වයට සාපේක්ෂව කුමන නිර්වචන හෝ කියවීම් තිබෙන්නට පුළුවන. ජනිතයන් බිහි කිරීම හා රැකබලා ගැනීම වර්ගයාගේ පැවැත්ම තහවුරු කරගැනීමේ ක්‍රියාවලිය හා දාරක ස්නේහය අතර පවතින සම්බන්ධය ගැනද විවිධ නිර්වචන ද තිබිය හැක.

ඒවා මොනවා උනත් ඒ සෙනෙහස ආදරය අපූර්ව මැවීමක් වන වන බව මම අවිවාදයෙන් පිළිගනිමි. මම එයට ආදරය කරමි.

ඒ වගේම සාහිත්‍යය හෝ කලාව තුල මිනිසා තමන්ගේ පරිකල්පනය, ඒ දාරක ස්නේහය සම්බන්ධයෙන් වස්තුබීජ කරගෙන කරන ලද නිර්මාණයන්ටත් මම අතිශයින් පෙම් කරමි. මිනිස් හදවත තමන්ට දැනෙන ආදරය සෙනෙහස ප්‍රකාශ කරන ආකාරයේ ඇති ප්‍රේමණීය බව මම මේ නිර්මාණ වලින් අත්විඳිමි.

‍රජරට වියලි කලාපයේ ජනතාව අදටත් ගෙවන්නේ අතිශය දුක්සහගත ජීවිතයකි. එදා ඒ දෙමාපියන් තම දරුවන් අව් වැසිවලින්ද සතුන්ගෙන්ද අදටත් මුහුණ දෙන දරිද්‍රතාවයෙන්ද මුදවාගෙන රැකබලා ගැනීමට යෙදුන පරිශ්‍රමය ගැන ලංකාවේ සාහිත්‍ය කියනා අඳෝනාව ඕනෑම හදවතක් කම්පා කරවන සුළුය. දවසක් පැල නැති හේනේ, විමලරත්න කුමාරගමගේ පද්‍ය වලින් ආදියෙන් එලියට එන්නේ වන්නිය රජරට අදටත් මුහුණ දෙන ශාපයේ අඳෝනාවයි.

මේ ලියන්නේ චමල් අකලංක පොල්වත්තගේ මේ ගීයගැන දකින ආකාරයයි. එය රචකයාගේ අර්ථයට හාත්පසින් වෙනස් වියහැක.

වෙන ගී වල කාන්තාවට අම්මාට සඳකි කිව්වාට මෙහි ගමට කලින් එන හිරු වන්නේ අම්මාය. හිරුගෙන් බලය රශ්මිය ජීවයේ පැවැත්ම ආරක්ෂාව නිර්වචනය කරන අතර සඳෙන් සෞම්‍ය ගුණය නිර්වචනය කරයි. නමුත් මේ පවුලේ හිරු අම්මාය. ඇය හිරු පායන්න කලින් අවදිවෙයි.මේ පියා නොමැති පවුලක් කියා මට හැඟෙයි.
මා කුඩා කාලයේ පාසල් යාමට අම්මා එලාම් එක තියන්න කියන්නේ 4:30 ටය. මම එය තියන්නේ 4:45 ට 50 ටය. ඒ විනාඩි 15 ලොකු නින්දක් නොලැබුවත් අම්මා අපි ගෙදර ආ පසු උදෙන් ඇහැරීම නිසා හිස රිදීම ගැන කීම මට බොහෝ රිදුම් දෙයි. අපේ පවුලේ අම්මා ඉටුකලේ සඳේ භූමිකාව යි.

නමුත් මේ පවුලේ අමමා හිරු වී ඇත. පවත්නා දරිද්‍රතාවයෙන් ගොඩ ඒමේ විකල්පය අධ්‍යාපනය බව ඇය දනියි. දරුවන්ගේ ජීවිත එලිය වන්නේ එයින් බව ඇය දනියි. ඉතින්  දරුවන්ට එලිය  ලබා දීම සඳහා ඇය හිරු වී ඇත.  නැණ මල් යනු නුවන නැමති මල් ය. මල් පිපීමට ඕනෑ  එලිය ලබා දෙන හිරු අම්මාය.
දැන් මේ පුත්‍රයා කරන්නේ මතක ආවර්ජනයකි. ඇගේ හිරු රශ්මියෙන් පිපුණු මල් අද සුවඳ විහිදවමින් පිපී ඇත. ඉතින් ඇයට තව අවශ්‍ය කුමක්ද. ඇය ලොව්තුරු සුවය විඳියි.
ඇයි මේ ගීයට අනුරාධපුරේ තිසා වැව. බසවක්කුලම නොගත්තෙ. ඇයි තිසා වැවේ නිල් දියවර අපෙ අම්මා නොවුනෙ.
මට හිතෙන්නේ එසේ වූයේ දාරක ස්නේහයේ අඳෝනාවේ රැලි නංවන්නේ කලා වැව වීම නිසා එසේ ලියන්නට ඇති බවයි. කලා වැවේ දියවරේ දියවී ඇත්තේ ධාතුසේන රජුගේ රුධිරයයි. සිය පුත්‍රයා වූ කාශ්‍යප විසින් වැව් බැම්මට තබා ඝාතනය කරන ලද කාශ්‍යපගේ අඳෝනාවයි. කාශ්‍යප වස්තුව ඉල්ලන විට පියා පෙන්වූයේ කලාවැවයි . එකල රජෙකුට ස්වයංපෝෂිතව රාජ්‍ය කරගෙන යාම සඳහා අවශ්‍ය වූ ප්‍රධාන සාධකය වූ රජරට හිඟ වූ ජලය එක්කර මහා වැවක් සෑදුවේ ධාතුසේනය. පුතා වස්තුව ඉල්ලූ විට ඔහු මේ මගේ ධනයයි කියා කලාවැව පෙන්වන්නට ඇත්තේ කොහොම සෙනෙහසකින්ද..
කලාවැව අදටත් මුහුදක් මෙන් රැලි නංවයි. ඒ රැල්ලක් ගානේ දාරක ස්නේහය ගැබ්ව ඇත. සහ මේ ගීයේ පීතෲ භූමිකාවද හොබවන්නී අම්මාය.

අධ්‍යාපනය අවසන් කර රැකියා සඳහා පිටව ගිය දරුවන් එනතුරු ඇය රැය පහන් කරයි. වියපත් වුවත් නින්ද කෙතරම් ඕනෑ වුවත් ඇය තවමත් දරුවන් මීළඟ දිනයට පිටව යාමට අවශ්‍ය කටයුතු සම්පාදනයට සිහින දකියි.
මේ පවත්නා සමාජ ක්‍රමය ඇතුලේ පියෙක් සිටියද කාන්තාවකට ජීවත් වීමට නොහැකි  තත්වයකදී අතිශය දුශ්කරව සිය දරුවන් උස් මහත් කර ඔවුන්ගේ අරමුණු ඉටු කරයි.
ඉතින් ඇය බුදුන්ට මව වීමට නුසුදුසු වන්නේ ඇයි..?
වරදවා වටහා ගන්න එපා ස්ත්‍රීවාදී කෝණවලින්. රජරට පවත්නා සංස්කෘතික රාමුවට සාපේක්ෂව හා ඒ සමාජ ආර්ථික පද්ධතියට සාපේක්ෂව මෙය විමසිය යුතුයි.

සිංහල බෞද්ධ සාම්ප්‍රදායික කාන්තාවගේ ජීවිතය මැදිවියේ සිට බලාපොරොත්තුව වන්නේ ආගමිකව ජීවිතය ගත කිරීමයි. නමුත් ඒ බලාපොරොත්තුවත් ඇයට සිත්සේ ගතකිරීමට නොහැකි වන්නේ ඇගේ දරුවන් කෙරෙහි පවත්නා වගකීමත් සෙනෙහසත් ඊට එරෙහි වන නිසාය. වෙල් දෙණිවල ඇවිදින්නේ දර හෙවීමටය., එදාපටන් සිදුකල ජීවිකාව කිරීමටය. ඉතින් ඇයට ආගමික ජීවිතය ගත කිරීමට කාලය නොමැත. ඒ නිසාම ඒ ඇහෙන කුරුල්ලන්ගේ සද්දය බණ පද  වෙන්න කියා රචකයා ප්‍රාර්ථනා කරයි. වෙන ගීතවල අම්මා බුදුවෙන්න කීවද මෙහි එසේ නොකියයි. කියන්නේ විශාකාව වෙන්න කියාය. එක්කෝ එයින් අදහස් වන්නේ බුදු වෙන්න තරමට ඇයට ඇගේ බලාපොරොත්තු වන ආගමික ජීවිතය ගත කරන්නට දරුවන් නිසා නොලැබුන බවය. ඒ වගේම බුදු වූ පසු නැවත නූපදින නිසා ඇයට විශාකාව වන්නට කියන්නේ ඇගේ දරුවෙක්ම වී ඉපදීමටය. එසේත් නැතිනම් ඇයට දරුවන් නිසා ඇය බලාපොරොත්තු වන ආගමික ජීවිතය ගත කිරීමට නොහැකි වුවත් ඇය විශාකා වගේම ආගමට ලැදි දැහැමි කාන්තාවක් බවය.
අලි ඇතුන් යනු තමන්ගේ දරුවන්ට ඉතාමත් ආදරය සෙනෙහස දක්වන සතුන් ය. රංචුවේ ඉපදෙන පැටවෙක්ව රංචුව විසින්ම බලාගනියි කියා මා අසා ඇත.  ඒ උපමාව ගීයට යොදාගන්නට ඇත්තේ ඒ නිසාය කියා සිතෙයි.
.
.
ගමට කලින් හිරු මුළුතැන්ගෙට වඩනා
ඒ හිරු එළියේ නැණ මල් පොඩි පිපුනා
ඒ මල් සුවඳේ අද ලොව්තුරු සුව විඳිනා
කලා වැවේ නිල් දියවර අපෙ අම්මා....

රෑ කළුවර අරගෙන දරුවන් එනතුරු සිත නෑ නිවන් දකින්නේ
රෑ කළුවර ඇවිදින් ඉකිබිඳ හැඬුවත් සිත නෑ නිදි විඳ ගන්නේ
හෙට අරුණට සැරසෙන තව දවසක් ගැන නින්දේ හීන දකින්නේ
මහ මායාවනි කවදාදෝ ඔය නෙත් දරු සෙනෙහසින් මිදෙන්නේ.....

ගමට කලින් හිරු....

වෙල් දෙණිවල ඇවිදින දෙපා රිදෙන විට විහඟ ගීත බණ පද වේවා
බෝ මළුවට ඇවිලෙන පහන් වැටක් වී තුන් සිත නිවී සැදේවා
මතු උපදින සසරේ විශාකාව වී මෙත් මග නෙත් හමුවේවා
ඇත් රැජිණියනේ ඔබෙ නැලවිලි ගීතය ලොවම නිවන කවියක් වේවා..

ගමට කලින් හිරු....

ගායනය - කරුණාරත්න දිවුල්ගනේ
පද රචනය - සුනිල් දයානන්ද කෝනාර
සංගීතය - සුනිල් දයානන්ද කෝනාර

#අකලංකාරය
  - චමල් අකලංක පොල්වත්තගේ

1 comment: