Monday, April 2, 2018

සිංහල ක්ලාස් එක


පහුගිය දෙසැම්බර් වලට මාස  තුනකට විතර කලින් මගෙ යාළුවෙක් කතා කරලා කිව්වා චමලෙ මචං මම පොඩි එකෙක්ට සයන්ස් ක්ලාස් එකක් කරනවා.උඹට සිංහල කරන්න පුළුවන් ද. කොල්ලනං දුර්වලයි කියලා. ඕලෙවල් වලට මාස තුනක් තියාගෙන වගකීම බාරගන්න බැරි හින්දා මම අදිමදි කලාම ඒ දරුවගෙ තාත්තා කතා කරලා කිව්වා පුතා අනේ මට මේක කරලා දෙන්න හදිස්සියෙ කවුරුත් හොයාගන්න බෑ. අපේ පුතා සිංහල වලට හොඳටම අවුල් කියලා.

ඊට පස්සෙ මම බැරිම තැන කිව්වා මට දරුවගෙ තත්වෙ බලන්නෙ නැතුව හරියටම වගකීම ගන්න බෑ මාස දෙක තුනකින් ගොඩ දාන්න පුළුවන් කියලා..  

ඒකට කමක් නෑ මේ වෙලාවෙ මොකක් හරි කරලා දෙන්න ලොකු උදව්වක් කියලා.

පස්සෙ මගෙන් ගාණ ඇහුවම කිව්වා අනේ පුතා ස්ථිර රස්සාවක් නැති තාත්තා කෙනෙක් මම. පුළුවන් දෙයක් කරන්න කියලා. 

හරි කමක් නෑ කවුරුහරි ඉගෙනගන්න එකෙක්නෙ කියලා තව පන්සීයක් අඩු කරලා ක්ලාස් එක කරන්න ගියා.

ගොඩක්ම හේතුව උනේ පොඩි කාලෙ ඉඳන් එකට ඉගෙනගත්ත යාළුවා කියපු එක.

කොහොමහරි පළවෙනි දවසෙ ගිහින් කොල්ලා එක්ක කතා කලා. 

උස මහතයි. වල බැහැලා ඉන්නෙ කියලා තේරුනා. කොළඹ ප්‍රසිද්ධ ඉස්කෝලෙක ඉගෙනගන්නෙ.

තත්වෙ බලාගන්න පොඩි ප්‍රශ්ණ ටිකක් දුන්නා.  

කියන්න සංතෝසයි " මම ගමට ගියා.." කියලා ලියන තත්වෙ හිටියෙ කොල්ලා.

උත්තර දීපු හැටියෙන් තේරෙනවා කොල්ලා ලකුණු 30  ක වගේ සීමාවක ඉන්නෙ කියලා. ටර්ම් ටෙස්ට් වලටත් තිස් ගණන්.

ඒ ටික කියලා දීලා

කොල්ලා එක්ක මල්ලි කියලා කතා කලා. 

මේකයි අයියෙ සීන් එක කියලා රැප් සීන් එකේ කතා කරන්නෙ පොර. පොඩි කාලෙ ඉඳන් පන්ති කට් කරලා. කොල්ලො එක්ක රස්තියාදු ගහලා. වල බැහැලා. පිටිපස්සට වෙලා ඉඳගෙන ටීචර්ලට සද්දෙ දදා ඉඳලා දැන් හෝඩියවත් බැරි තත්වෙක ඉන්නෙ. ඌ බයික් වලට වාහන වලට ආසයි. ඒ පැත්තෙන් බිස්නස් එකක් කරන්න ඕනෙලු.

මං ඉතින් කිව්වා.

මං මේ ආවෙ මගෙ යාළුවා කියපු හින්දා. උඹ පොඩි එකෙක් නෙමෙයිනෙ බං. මාත් උඹ වගේම පිස්සු කෙලපු එකෙක් තමයි. තාම එහෙම තමයි. උඹෙ ඉස්කෝලෙට ළඟම එකක තමයි මාත් ඉගෙනගත්තෙ.. ඒක හින්දා උඹලෑ උන් ගැන මට අමුතුවෙන් කියන්න ඕනෙ නෑ.

හැබැයි උඹට බිස්නස් එකක් කරලා ගොඩයන්න හරි ඕලෙවල් ඕනෙ. 

උඹ සිංහල වලට ලයිට් කණුවක් ගත්තොත් ඔක්කොම විනාසයි. උඹට කෙල්ලෙක්වත් කැමති වෙන්නෑ. ගෙදරින් උඹව ගණන් ගන්නෙත් නෑ. දැන් ඉන්න උන් උඹ එක්ක ඉන්නෙත් නෑ. උඹ කාලා බීලා ඕන මගුලක් කරගනින් මට කමක් නැ. හැබැයි මේ මාසෙ  පොඩ්ඩක් වැඩ කරපන් අපි S එකක් දාගමු. උඹට A අරන් දෙනව කියලා ටෝක් දෙන්න බෑ. උඹ ඉන්නෙ ෆේල් වෙන මට්ටමේ. ඒක හින්දා උපරිම ට්‍රයි එකක් දෙමු. මට ප්ලෑන් එකක් තියනවා. මං උඹට වැඩ ටික කරනවා උඹේ පැත්තෙන් වෙන්න ඕන ටික කරපන්. බැරි ඕන මගුලක් අහපන්. මං හැම රෙද්දම දන්නෙ නෑ. හැබැයි හොයලා හරි අනිවා කියනවා. උඹ මං උගන්නන විදිහට අකමැතිනං දැන්ම කියහන්. සල්ලි ඕන්නෑ මං යන්නං කියලා. ඔහොම තව ටිකක් කිව්වා.

ඔය ටික කියනකන් පෑන කරකව කරකව කොල්ලා බිම බලන් හිටියා.

හරි අයියෙ අවුලක් නෑ කියලා වැඩ පටන් ගත්තා..

සාහිත්‍ය පොතේ තියන ජාතක පත විචාර මූට ලියවන එක තේරුමක් නැති හින්දා S එකකට යන්න ප්ලෑන් එකක් ගැහුව.

1st paper එකෙන් ඉරි ගහලා හිස්තැන් පුරෝලා ගන්න ලකුණු ටික කෙලින්ම එකතු වෙනවා මුළු ලකුණු වලට. ඒක හින්දා ඒක ටාගට් කලා.

මොකද ඉරි 30 ක් ගැහුවොත් කෙලින්ම 30 ක්. එතකොට අනිත් රචනා සාරාංසය විචාර අවබෝධය දැන්වීම් ලියුම අත්පත්‍රිකා ඔක්කොගෙන්ම ගන්න ඕනෙ 15 යි විබාගෙ පාස් වෙන්න.

1 st paper එක එන්නෙ ටෙම්ප්ලේට් එකක්. උදාහරණයක් විදිහට අකාරාදී පිලිවෙල, ප්‍රස්තා පිරුළු ඉඟිවැකි උපමා ඔය වගේ එකම ටික එන්නෙ. අඩංගු දේවල් ටික විතරයි වෙනස් වෙන්නෙ.

ඒක හින්දා ටෙම්ප්ලේට් එකට අදාලව ව්‍යාකරණ ටික එකින් එක කලා. හෝඩිය අ යන්නෙ ඉඳන් ඉගැන්නුවා. හෝම් වර්ක් කරන්නෙ නෑ. දවසක් දෙකක් බලලා තාත්තට කියලා කොහොමහරි බලෙන් කෙරෙව්වා.

විචාර පාඩම් කරන්න වෙලා මදි. ඉතින් රචනාව ලියන්න පුරුදු කලා. මාතෘකාව බලලා ඒක කැලි පහකට බෙදාගෙන වචන 50  ගානෙ ඡේද බෙදලා 250 හදාගන්න. සාරාංසය, රාජකාරි ලිපිය. ,දැන්වීම , ඡේදය බලාගෙන උත්තර ලියන ටික.

ඔය ටික පරණ පේපර්ස් අරගෙන එකම දේ රිපීට් කර කර කලා. අද කියන එක හෙට මතක නෑ. 

කවි සින්දු විචාර උගන්නන්න ගිහින් දන්න කවියක්  කියපන් කියන්න කිව්වම දන්නෑ කිව්වා. සින්දුවක් කියන්න කිව්වම දන්නෑ කිව්වා. කොහොමහරි බල කරලා ඇහුවම කිව්වා '"ශාන්ති.." කියලා. ( ඔව් ඔව් අර රැප් එක තමයි ) ඉරාජ්ගෙ සින්දු අහනව කිව්වා. ගේමක් දීලා සින්දුව කටපාඩම්.

ආච්චිට හාල් ගරන්න දැන් මූට ප්‍රතිභාවයි ව්‍යුත්පත්තියයි සතතාභ්‍යාසයයි උගන්නපන්කො ඉරාජ්ගෙ සින්දු වලින්.

ගේමක් දීලා එකෙන් කියන්නේ ලංකාවේ දේශපාලන පාතාලය , මුඩුක්කු වල ජීවිතය , ආර්තික ප්‍රශ්න නිසා ලංකාවෙ තරුණයො දරුවො කුඩු වලට සහ අපරාධ වලට සම්බන්ධ වෙන ලොකු කතාවක් ය. එතකොට ඒක ගැන ඒවට සම්බන්ධ වෙන මිනිස්සුන්ට කතා කරන්න නං මහප්‍රාණෙන් උගන්නලා බෑ. ඒක සරලව කියන්න ඕනෙ. එතකොට ප්‍රතිභාව කියන්නෙ අපූර්ව වස්තු නිර්මාණය කරන්න තියන හැකියාවට. ඉතින් ගේමක් දීලා සින්දුව ලියපු මනුස්සයා අර ලොකූ දේසපාලන කතාවක් සරල තේරෙන රැප් එකකට දාපු එක තමයි ඒ මනුස්සයගෙ ප්‍රතිභාව.

එතකොට මෙහෙම ලියන්න උඹටයි මටයි බෑ. මොකද අර මුඩුක්කු වල සිද්දවෙන දේවල් ගැන දැනුමක් අවබෝධයක් තියෙන්න ඕනෙ. දේසපාලනේ ගැන දැනුවත් වෙන්න ඕනෙ.. සින්දුවෙ අන්තිමට චන්ද්‍රිකා නෝනගෙ කතාවක් තියනව. එහෙනං මොකක් හරි නිර්මාණයක් කරන්නනං ඊට සම්බන්ධ වටපිටාව ගැන ලොකු දැනුමක් ගන්න ඕනෙ. අන්න ඒකට අපි කියන්නෙ ව්‍යුත්පත්තිය කියලා.

එතකොට මේ රැප් එක එකපාර ලියන්න බෑ. ඒකට ලියලා ලියලම පුරුදු වෙන්න ඕනෙ. එතකොට නිරන්තරයෙන් අභ්‍යාසයෙ නිරත වෙන එකට කියන්නෙ සතතාභ්‍යාසය කියලා.

ඔන්න ඔහොම උපමා රූපක එලිසමය ව්‍යංගාර්ත අරව මේවා ඔක්කොම පැහැදිලි කලා.

පස්සෙ පෝන් එකෙන් දවසක් පැල නැති හේනෙ, වගේ සින්දුත් දාලා අහන්න දීලා පැහැදිලි කලා. එදාමයි කොල්ලා ඒ සින්දුව ඇහුවෙ.

ඔන්න ඔහොම ගේමක් ගහලා අන්තිම දවස් ටිකේ පේපර්ස් කෙරෙව්වා. ගෙදරදිත් කරන්න පේපර්ස් දීලා ඕන වෙලාවක කෝල් කරලා දන්නැති මගුලක් අහපන් කියලා කිව්වා. ගෙදර ගිහින් බැලුවම වට්සැප් මැසේජ් එකක් එවලා තිබ්බා. හරි සංතෝසෙන් රීඩ් කලාම ඒකෙ තිබ්බෙ අම්මට ආදරෙයිනං මේ මැසේජ් එක දහ දෙනෙක්ට ෆෝවර්ඩ් කරන්න කියල.

කොහොමහරි වෙලා තියන විදිහට වැඩිපුර ක්ලාසුත් කරලා වඩ ටික කෙරෙව්වා. අනිවා එයි කියලා හිතන විචාරවල උදාහරණ කටපාඩම් කෙරෙව්වා කොහෙන් හරි ගලපගන්න පුළුවන් වෙන්න.

මැසේජ් එකක් දාලා රිසල්ට්ස් කියලා තිබ්බා.

C එකක් තියනවා..

සතුටුයි ඉතින්. වෙන මොනවද..!!

# අකලංකාරය 

  - චමල් අකලංක පොල්වත්තගේ 

5 comments: