Tuesday, August 28, 2018

|සමාන්තර ලෝකයක|



අව් රශ්මිය දැඩිය..
සළු වලින් හිස් ආවරණය කරගත් කාන්තාවෝ සල්පිල පුරා එහෙමෙහෙ ඇවිදිති. නීච ශුද්‍රයන් සිව් දෙනෙකුගේ කරමත තබාගත් දෝලාවක ගමන් කරමින් සිටිනා කුමරෙක් අව් රශ්මියෙන් විඩාපත්ව වේගය මද කල ශුද්‍රයන්ට කසයකින් තලමින් සිය හිතවතෙකුට අත වනයි..
මේ අතර කඩපිලේ උණු කිරි පානයක් පානය කරමින්..
අහ් කොහොමද ඉතින්.. කාලෙකින් දැක්කෙ..  දීපිකා සනීපෙන්ද..
අනේ ඔව්.. දරුවා ලැබෙන්න කියලා විශාලාවෙ අම්මලෑ ගෙදර ගියා..කොහොමද ඉතින් වැඩ..
දන්නැද්ද ඉතින්..  තාත්තගෙ කුඹුරු බලාගෙන ඉන්නවා...
ආ දන්නවද වැඩක්.. තමුසෙ අර හොඳයි කිය කිය හිටිය ඔටුන්න හිමි සිද්ධාර්ථ කුමාරයා...
ඔව් මොකක්ද වෙලා තියෙන්නෙ..
ගිහිගෙය හැර ගිහින් බුද්ධත්වයට පත් වෙලා කියලා අලුත් ධර්මයක් දේසනා කර කර ඇවිදිනවා..
ආ ඒක ඇත්තක්ද.. මට කනින් කොනින් ආරංචි උනා.. මං විශ්වාස කලේ නෑ..
නැත්තෙ මොකද.. අන්න අපේ ශ්‍රේෂ්ඨ බ්‍රාහ්මණ ධර්මයට අපහස කර කර ඇවිදිනවලු.. කෑම හිඟා කනවලු... ශුද්‍රයන්ගෙ මුඩුක්කු වලට පවා යනවලු.. උන්ට ආශිර්වාද කරවලු..
මොනවා..??


ඔව්.. ඒ විතරක් නෙමෙයි.. අපේ ශ්‍රේෂ්ඨ බ්‍රාහ්මණ ධර්මයට අපහස කර කර.. මගා බ්‍රහ්මයා කුල හතර මැව්වෙ කටෙන් බාහුවලින්, කලවයෙන් , යටිපතුලෙන් නම් උන්වහන්සෙගෙ කටේ යෝනියක් තියන්වද කියලත් අහලලු...
මේ අතර කඩපිලේ අයෙක්..
අම්මප.. මටත් ඕක අහන්න ලැබුනා.. මහ රජුගෙ පුත්‍රයා නොවුනා නං මං දනී කරන දේ..
තවත් අයෙක් පැමිණෙයි..
එහෙයි එහෙයි...
හැම මනුස්සයම සමානය.. උපතින් වසලයෙක් බ්‍රාහ්මණයෙක් වෙන්නෙ නෑ කිය කිය යනවලු..
මහාබ්‍රහ්මයටම ඔප්පු වෙන්න ඕනෙ මෙව්වා.. යකෝ අවුරුදු දහස් ගාණක් තිස්සෙ අපේ මුතුන් මිත්තො රැකගෙන ආව සංස්කෘතිය සිරිත් විරිත් අපේ ශ්‍රේෂ්ඨ බ්‍රාහ්මණ දර්ශනයටනෙ මේ අපහස කරන්නෙ...
ඇත්තටම අපි මේක ගැන වහාම බ්‍රාහ්මණ සංසදය රැස්වෙලා තීරණයක් අරගෙන මහරජුට දන්වන්න ඕනෙ පුත්‍රයා ගැන.. වහාම ඔය ගෞතම දර්මය තහනං කරලා දාන්න කියලා..
අනික කවුරුත් සිද්ධාර්ථට කියලා දීලා නැද්ද දඹදිව අනාදිමත් කාලෙක ඉඳන් පැවතගෙන එන ආගමට සිරිත් විරිත් සංස්කෘතිය විවේචනය කලාම ඒකට පහර දුන්නම රැඩිකල් වෙන්නෙ නෑ  කියලා..
මෙහෙම ගිහින් නීච ශුද්‍රයො අපේ ඔලුවට අත හෝදන්න ගනී.. අන්න දැනටමත් හිස මුඩු කරලා චීවරේ දාගෙන ඉන්න වසලයන්ව කසල සෝදකයන්ව සම අසුන්වල තියලා වන්දනා කරන්න අරන්ලු..
දෙවියනේ...!!!
ඇරත් ඔහුට අපහස කරන්න මේ භූමියෙ කොයිතරම් ආගම් සංස්කෘති තියනවද.. ඇයි අපේ බ්‍රාහ්මණ ධර්මයයි , සංස්කෘතියයි පමණක් ගාවගන්නෙ. නිගණ්ඨ ධර්මෙට මුකුත් කියන්නෙ නෑනෙ..
ඔව් කාගෙහරි කුමණ්ත්‍රණයක් වෙන්නත් බැරි නැහැ. අපේ ශ්‍රේෂ්ඨ දර්ශනය නැතිකරන්න කරපු..
ශාක්‍ය වංශික කුමාරවරු ගිහිගෙය හැර ගියාම රාජ්‍ය පාලනය කරන්නෙ කවුද.. මහා බ්‍රහ්මයාණන් වහන්සෙගෙ මුඛයෙ යෝනියක් තියනවා කිව්වම ශුද්‍රයො අඩුකුලේ පරහැත්ත අපිට හිස නමයි ද..
අසු පිටින් බැස තවත් අයෙක් පැමිණෙයි..
අන්න " මාර" එනවා..!!
මිතුරනි.. මා ඔබේ කතාව අසා සිටියා..
ඔබ සියලු දෙනාම ආලවක බලකායට එකතු වෙන්න.. අපි මහබඹුට හීලෑවුණ යක්කු කියලා ඔය මුඩු මහණට පෙන්වමු..!!
මේ අතර මම..
මිතුරනි..
ඔබ අතරන් යමෙකු බුද්ධ හෙවත් සිද්ධාර්ථ කුමාරයා දේශනා කරන මේ නව ධර්මය අසා තිබෙනවාද...??
මිත්‍රය..
ආයෙ කුමටද අසන්නේ.. මෙහි නොයෙක් ආගමික විශ්වාසයන් ඇත. අපි උසස්ම කුලය වී පවා ඒවා ට නිදහසේ ඇදහිලි කරගෙන යාමට අවසර දී ඇත්තෙමු.. ඒ ඔවුන්ගෙන් අපගේ බ්‍රාහ්මණ දහමට හෝ සංස්කෘතියට බාධාවක් නොමැති නිසාය. නමුත් මේ මුඩු මහණා විසින් අපගේ ධර්මය ප්‍රශ්න කරයි.. මහ බඹුගේ මුඛයෙහි යෝනියක් ඇතිය කියා අපහස කරයි.. තවත් ඔහුගෙ ධර්මය අසා පලක් ඇතිවෙද.. වහාම ඔහුවත් ඔහුගේ ධර්මයත් විනාශ කල යුතුය..
පසු සටහන -
මීට දින කිහිපයකට පසු බ්‍රාහ්මණ ආගමට හා සංස්කෘතිය විවේචනය කිරීම හා අපහස කිරීමේ චෝදනා මත නාඳුනන අයෙකු එල්ල කල හී පහරකින්  ගෞතම බුදුන් ඝාතනයට ලක්විය..ශාසනය විසුරුවා හැරි අතර මරණ බියෙන් සියළු භික්ෂූන් වනගත විය. 
බටහිර ජාතීන් පැමිණෙන තෙක්ම හින්දු ඇදහිල්ල දකුණු ඉන්දීය අර්ධද්වීපයේ  ප්‍රදාන ආගම විය.
-------
#අකලංකාරය
  - චමල් අකලංක පොල්වත්තගේ

1 comment: