Sunday, August 12, 2018

මහාමාත්‍ය ඓසූර්ය දේවප්‍රියාධාන ජන දුක්ඛ දුක්ඛිත පශ්චාත්භාග රක්තතප්ත ආසන කතාවත්තුව


|

මහින්දෝත්තම රාජපක්සාභිධාන මහාධිරජාණන්වාන්සේ රාජබලය අතෑර මන්ද මූලනයට බාවනාව පිණිස නික්ම ගියාවූ පසු සිංහාසනාරූඪවූ  සරලාභිධාන නරේන්ද්‍ර මෙත්පල් නිරිඳානෝ  ටෙලිවීසනායෙහි බියුටිකල්චරයෙහි යෙදෙන්නාවූ සැලෝනියක විසින් වැලි කරදාසියෙන් කපා ඔපමට්ටම් කර පොටි ගල්වන ලද්දාවූ බ්‍රයිඩියාවකගේ මුහුණතක් මෙන් නේක ශ්‍රීන් බබලවමින් ටසිරිලක රාජ්‍ය විචාරන සමයෝයැ. මෙකල් හී ටසිරිලක වැස්සෝ ධනයෙන් බලයෙන් සුවයෙන් සංතෘෂ්ඨියෙන් කෙසේ සිටියෝද කියතොත් උන් සිය නිවෙස් වෙත යාම නවතා රේල්ලුස්තානයන්හී ද බසාස්තානයන්හීද රැය පහන් වන තුරාවට ගී කියමින් කල් ගත කලාහ. නටන ලද්දාහ.
ඉදින් ටසිරිලක  බටහිර ජනපද ප්‍රාන්තය වනාහී ටසිරිලක ශ්‍රී සමෘද්ධියෙන් ආඪ්‍යට පත් ප්‍රාන්තයමැ විය. සෝබාව දේ මෙපුරය. සිරි විසිතුරු බලනා ඡන්ද දායකයෝමයැ. මග ප්‍රියකරුයැ. සුසුදු වලා කැරලි කොටුව දිගේ අතුරාය. අහස සූරන මැදුරුයැ. ජේත්තූකාර ලියන් ගත විලවුන් ලා මිටින් ගතෑකි ඉඟසුඟ නලවමින් ගමන් යති. ජිම් ගියාවූ පුරුෂයෝ පොළොවට බරාඩි තබමින් ඇවිදිති. ආස්චර්‍යයමත් කෝලම්තොට මෙහි අගනුවරයැ.
මේ මහා ප්‍රාන්තය පාලනය කලාහූ නම් ඓසූර්ය දේවප්‍රියාධාන නම් වූ මහාමාත්‍යයෝ යැ. 


 පෙර මහින්දෝත්තම අධිරජාණෝ  බාව නාවට මන්දමූලනයට නික්මුණාවූ කල්හී පිරිවර ඇමතියෝද වනාරණට බාව නාවට නික්මුණාහ. එසේ ඔවුන් නික්මුණ නමුදු දිවා රෑ නොබලා මහජන සේවයට කහවණු පසෙකලා කැපවෙන්නාවූ ලොකෝමෝටිව් රථාචාර්‍යයෙකු මෙන් ඓසූර්ය දේවප්‍රියාධාන මහාමාත්‍යයෝ සරලාභිධාන නරේන්ද්‍ර මෙත්පල් නිරිඳුන් සමීපයට මාමයිට් ජනපදයෙන් පැමිණ ජනතා සේවයෙහි යෙදෙන්නාහ.
එතුමාණෝ සමගමැ තවත් මන්ත්‍රීහු සියයකුත් තවත් සතරකි..
ඉදින් මෙසේ කලක් ගතවන්නාවූ සම‍යමෙයෙහි එතුමාණෝ කල්පනා කලාහූ නම් අහෝ මාගේ ප්‍රාන්තවැසි ජනතාවෝ දුර කතර ගෙවාගෙන මට නොකියම නේක නේක ගම් නියම්ගමෙන් ප්‍රාන්ත සබාවට පැමිණෙන්නාහ. ඉදින් ඒ අසරණ ජනයාගේ බස් ගාස්තුවද කොන්දේ රුදාද හංදිපත් රුදාද   ආතරයිටීස්ද කුඩාවුන් බලාගැනීම මෙගා නාට්ටි බැලීම් ආදී නෙක නෙක දුෂ්කරතාවෝයැ. ඉදින් මේ නිසාම මාගේ ප්‍රාන්තවැසි බදු ගෙවන්නාවූ මහජනයාට දුකක් නම් දිය නොහැක්කේමය. ඉදින් මා ප්‍රාන්තයේ ප්‍රධාන ජනතා සේවකයාවූ නියාවෙන්  මෙයට පිළියම් ‍යොදන්නෙමියි කියා දේවප්‍රියාධානයෝ දේවීන් වෙනුවෙන් දිවිපරදුවට තබා අපාර්ට්මන්ටයක් පූජා කරන්නාවූ රවිචන්ද්‍ර කාරුණිකයකු මෙන් සිය බිරියට ඩෞරියක් ලෙස ලැබුනාවූ අක්කර හතලිස් දහසක ගොටුකොල වගාව විකුණා‍ මහජන සේවය පිණිස බිසිනස්ක්ලාසයේ නැග තව්තිසාවට ගොස් පඬුපුල් සෙන්සරයක් සවිකරන ලද්දාවූ අසුනක් ප්‍රාන්ත සබාවට වඩම්මාලීයැ..
එයනම් විශ්වකර්‍ම නිමැවුමක්මයැ. මෙහි සුවිසේෂීම අංගයෝනම් සක්‍ර දේවේන්ද්‍රයාණෝ ගේ පඬුපුලාසනය මෙන් මෙහි අසුනෙහි පශ්චාත්භාග රඳවනයෙහි සවිකල "ජන දුක්ඛ දුක්ඛිත පශ්චාත්භාග රක්තතප්ත යන්ත්‍රය"  යැ. ඉදින් ප්‍රාන්ත වැසියෙකුට යම් අන්තරායක් ඕනෑ එපාකමක් වී නම් වහාම රෞහිත රාජපක්සාභිධාන කෞමාරනුවානන්ගේ සැටලයිටයේ ආණුභාවයෙන් සංඥා යවා අසුන උණුසුම් කර පශ්චාත්භාගයට දැනුම් දෙන්නාහ..
ඉදින් එතැන් පටන් මහජනතාවෝ නැවත ඓසූර්ය දේවප්‍රියාධාන මහාමාත්‍යයන්ගේ  කාර්‍යාලයට නොපැමිණියාහ. සිය නියම් ගමෙහි මගෙහි ඇතුන් නාවනා මඩ වලකි. වහාම මෙය කාපට් කල යුත්තේය කියා සිතූ සැනම මහාමාත්‍යයන්ගේ සිංහාසනය අල්ලපු නිවසේ ගෘහණියට හායි කියූ සැමියා දුටු බිරිඳක මෙන් රක්ත තප්ත වන්නාහ. ඉදින් සක්‍රයාගේ මෙන් පශ්චාත්භාගයට උණුසුම දැනුණ කල්හීමැ මහාමාත්‍යයෝ මාගේ ප්‍රාන්ත වැසියෙකුට උපකාර උවමනාවී ඇත්තේමයැයි කියා වහ වහා උපකාර කරන්නාහ. කඩේ බස් එකේ ලොතරැයි කූඩුවෙ කොටින්ම වැසිකිලි වලක් උතුරාහුයේමනම් වහ වහා ගලහ මාර්ගයෙන් කොටකලිසම් ඇඳන් යන්නාවූ පුරවැසියෙකු දුටු සිසුවිරුවෙකු මෙන් මහාමාත්‍ය ඓසූර්ය දේවප්‍රියාධානයෝ දිව ගොස් සෙත සැලසූවාහ..
ඉදින් මෙසේ කිහිප මසක් යනවිට මහත් අන්තරායක්මැ වූයේයැ. මහාමාත්‍යයෝගේ පශ්චාත්භාගය කිම්කාඩේෂියෑනකගේ  මෙන් පුළුල් වන්නට වන්නාහ. සරම ඇඳි කල්හි පශ්චාත්භාගට වැඩි වර්ගඵලයක් වැයවීමෙහිලා ගංවතුර ගැලූ කලෙක මෙන් සරම දණහිස දක්වා කෙටි වියැ.  කාර්‍යාලයට පැමිණි කල්හී කාර්‍යාලයේ සේවක සේවිකාවෝද එතුමාණෝගේ පශ්චාත්භාගයෙහි නව බස්නැවතුම්පල ගොඩනගාලමුයි කියා උසුළු විසිළු කලාහ. යටැඳුම් අඳින්නට නොහැක්කේම වියැ. ඉදින් මෙය තවත් බලා නොසිට වෙදාණෝට පෙන්වාලූ කල්හී වෙදාණෝ කියාලූයේ නම් අසුනෙහි උණුසුමට ලක්වී පශ්චාත්භාගය ඉදිමී "ඵුඛ්ඛ මස්තිෂ්කාබාධය" වැළඳ ඇති බවය.  එයට පිළියම් ලෙස සක්‍රයාගේ මෙන් උණුසුම දැනුනද පශ්චාත්භාගයට හානියක් නොවන පශ්චාත්භාග ඉදිමුම වළකන නව පෙනුමෙන් නව පැහැයෙන් එන  සෞක්‍යාරක්ෂිත කුචි කුචි ෂොෆ්ට් "ඇන්ටි බට් හීට් ජන දුක්ඛ දුක්ඛිත පශ්චාත්භාග රක්තතප්ත යන්ත්‍රයක් "  සහිත අසුනක හිඳ සිටිය යුතු බවයි.  එසේ නමුදු එවන් අසුනක් කහවණු සයලක්ෂ පනස්දහසක් වූ නියාවෙන් '" මාගේ මේ ව්‍යායාමය කිසි කලෙකත්  ඇන්ටි බට් හීට් ජන දුක්ඛ දුක්ඛිත පශ්චාත්භාග රක්තතප්ත යන්ත්‍රයක් සහිත අසුනක හිඳ ගැනීම නොවේ. ප්‍රාන්තයේ ජනීජනයාගේ යහපතමයැ මෙත්පලානෙනී..." කියා එතුමාණෝ මහජන සේවය පිණිසමැ හිටං  කටයුතු කලාහ.
එය අසා..
"අහෝ අශෝක් ලේලන්ඩයක් මෙන් පශ්චාත්භාගය ඉදිමුණාහූ නමුදු මහජන සේවය පිණිසමැ පස්චාත්භාගය පෙට්ටියක දමා හෝ වැඩ අපට සේවය සලස්වන්නාහු.." යි කියා බටහිර ප්‍රාන්ත වැසි මහජනතාවෝ ඓසූර්‍ය් දේවප්‍රියාධාන මහාමාත්‍යයෝ ට සාධුකාර දුන්නාහ.
ඉදින් කෙතරම් දුක් කම්කටොළු ලැබුණද වසන්තා කවදා හෝ එනවා සත්තය කියා පෙර පඬිවරයෝ කියූ පරිද්දෙන්මැ සක්‍රදේවීන්ද්‍රයාණන්ගෙ පඬුපුල් අසුන ඩේටා ඔන් කරනා ලද ස්මාට්පෝනයක් මෙන් උණුසුම් වීයෑ.
"බුදාම්මෝ.. මාතලී.."  කියා දිවැසින් බැලූ කල්හී එතුමාණන්ට සුවිසල් ද්විත්ව ගෝලයක් දර්ශනය වන්නට වන්නාහ.
"මාගේ මේ කල්ප දෙකාමාරක ආයුකාලයටම පශ්චාත්භාගයක් විසින් මාගෙන් පිහිට ඉල්ලූ පළමු වතාව මෙයයැ. මේ කුමන පශ්චාත්භාගයක් දැයි.."
විමසනා විට ඊට එපිටින් කටුවෙන් හිස පිටතට දමනා ගැලපගොස් ඉබ්බෙකු මෙන් ඓසූර්‍ය දේවප්‍රියාධාන මහාමාත්‍යයන්ගේ හිස දර්ශනය වීයැ.
"අමරබන්දු රූපසිංහ..!! මේ දේවප්‍රියාධානයෝ නේදැ.." යි.. කියා දිවසින් බලා සක්‍රයාණෝ තතු දැනගත්තාහ.
ඉදින් ඉන් පසු ශක්‍ර දේවේන්ද්‍රයාණෝ දණ්ඩෙන් පහරලත් ශිවණ්‍යාවෙකු මෙන් කෝපාග්නියෙන් දැවෙන්නට වන්නාහ. සිරුරින් අග්නිය පිටවන්නාහ. පෙම්වතා ප්‍රමාද වූ කල කිසිදාක ප්‍රමාද නොවන්නාවූ පෙම්වතියක මෙන් අඩි හප්පා ගර්ජනා කලාහ..
"එම්බා විශ්කම් දිව්‍යපුත්‍රය.. ටසිරිලක  මහාමාත්‍ය ඓසූර්‍ය දේවප්‍රියාධානයෝ සිය පශ්චාත්භාගය ඉදිමී තිබියදි පවා  තනිව මහජන සේවයට කැපවී සිටින්නාහ. ඉදින් ඒ උතුම් යුග පුරුෂයාණන්ට එසේ තනිව ප්‍රාන්තයේ දුක්ගන්නාරාල වන්නට නොහැක්කේමයැ. ඉදින් වහා තොප එතුමාණන්ගේ පශ්චාත්භාගය තබාගැන්මට "ඇන්ටි බට් හීට් ජන දුක්ඛ දුක්ඛිත පශ්චාත්භාග රක්තතප්ත යන්ත්‍ර"  සහිත කහවනු සයලක්ෂ සාළිස් දහසක් වටිනා අසුනක් මවා දී මේ උතුම් පුරුෂයාට උපහාරයක්මැ පිණිස මහජන සේවය සඳහා අවශේෂ මන්ත්‍රීහු සඳහාද එම අසුන් මවා දෙව...""  ඉදින් වහා අප ජීවකයාණෝ එතුමාණන්ගේ පශ්චාත්භාගයට අධිගෘහිත කර ආබාධයද සුවකර දමන්නැයි.. කියාහ..
ඉදින් මහජන සේවයට අකැමති මන්ත්‍රියෝ පස් සයක් හැරුණ විට මහාමාත්‍යාණන් ඇතුළු අනෙක් සියළු ජනතාප්‍රේමී දේශහිතෛශී මන්ත්‍රීවරුන් සඳහා සක්දෙවිඳු විසින් කහවණු කෝටි ගණනක මැණික් ඇල්ලූ ඇන්ටි බට් හීට් ජන දුක්ඛ දුක්ඛිත පශ්චාත්භාග රක්තතප්ත අසුන් මවාදෙන ලද්දාහ..!!
චමලාකාලංක පොල්වතාණුවන් විසින් රචිත අකලංකාරයෙහි එන මහාමාත්‍ය ඓසූර්ය දේවප්‍රියාධාන ජන දුක්ඛ දුක්ඛිත පශ්චාත්භාග රක්තතප්ත ආසන කතාවත්තුව නිමියේයැ..
#අකලංකාරය
  - චමල් අකලංක පොල්වත්තගේ

3 comments:

  1. "ඇන්ටි බට් හීට් ජන දුක්ඛ දුක්ඛිත පශ්චාත්භාග රක්තතප්ත යන්ත්‍රය" I like this term.
    Well done Chamal. Excellent writing, as usual.

    ReplyDelete
  2. පට්ටයැ... අතිෂයින්ම පට්ට වූ බැවින්ම පේස්බුකයෙහි ෂෙයා කරන්නමෝ වෙම්දැ...

    ReplyDelete