Thursday, June 13, 2019

සිරා හොරා.. රනිල් බබා..?


ජනාධිපති වගකීම් පැහැරහැරීම, හිස්බුල්ලව, අසාද් සාලිලව හුරතල් කරන එක හා ඒවා හෙළිවනකොට පාර්ලිමේන්තු කාරකසභාව නවත්තන්න හදන එක, කැබිනට් රැස්වීම් වර්ජනය කරන එක ඔක්කොම හරි තමයි.

හැබැයි ඔය අස්සෙ අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු එජාපය  පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සියළු කුණු ජනාධිපතිගෙ පිට දාලා අතපිහදගන්නවා කියන එක අමතක කරන්න එපා.


රනිල් වික්‍රමසිංහ රටේ දෙවන පුරවැසියා. එයාට ආරක්ෂක කෞන්සිලයට එන්නෙපා කියලා ජනාධිපති කිව්වනං හා කියලා නිකන් ඉන්න බැහැ. එපා කිව්වෙ ඇයි කියලා අහලා ඒක ගැන පාර්ලිමේන්තුවේ කතා කරලා මහජනතාව දැනුවත් කරන එක අගමැති විදිහට එයාගෙ වගකීම. එතකොට ජනාධිපතිගෙ පිටින් දාලා අගමැතිට අත පිහද ගන්න බැහැ.

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන එජාපයෙ මන්ත්‍රී කෙනෙක්. ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා විදිහට ඔහු පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වගකීමෙන් නිදහස් වෙන්න බැහැ. ලැජ්ජාවක් කියලා බින්දුවක් හරි තියනවනං විෂය සම්බන්ධ අමාත්‍යවරයෙක් විදිහට ඔහු මේ වෙද්දි ඉල්ලා අස්වෙන්න ඕනෙ.අඩු තරමේ ප්‍රහාරයෙන් පස්සෙ ඇතිවුන ගැටුම් නවත්තන්නවත් හැකියාවක් ලැබුණෙ නෑ ඔහුට.

MIM මන්සූර් අම්පාරෙ එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා.
එයාගෙ රියදුරාව සැකපිට අත්තඩංගුවට ගන්නවා ගෙදර ආසන්නයේ පුපුරනද්‍රව්‍ය හමුවීම හින්දා.
ඒ වගේම මන්සූර් සහරාන්ගෙ බිරිඳ සහ දරුවාව බැලීමට අම්පාර රෝහලට යන්න කිහිපවරක්ම උත්සහ කරලා තියනවා.

අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පාර්ලිමේන්තුවෙ සභානායකවරයා. ඔහුගෙ අමාත්‍යාංශයේ මීඩියා යුනිට් එකේ තුන් දෙනෙක්ව අත්තඩංගුවට ගන්නවා කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවෙදි ජාතීන් අතර අසමගිය ඇතිවිය හැකි ලිපි 600ක් පන්සල් වලට තැපැල් කරන්න යාමෙදි.
ඒක කරන්න කිව්වෙ කවුද ? ඇයි එහෙම කලේ කියලා තාම කිසිදු පැහැදිලි කිරීමක් කරලා නැහැ.

අන්න ඒක හින්දා කරුණාකරලා සියළු කුණු ජනාධිපතිගෙ පිට දාලා එජාපයයි අගමැතියි අත පිහදාගැනීමේ තේරුමක් නැහැ.
එකෙක් හරි වෙලා අනිකා වැරදි වෙන්නෙ නෑ.
අහිංසක නිරායුධ මිනිස් ජීවිත 250+ ක් ඝාතනය වීම  සහ ඊට පසු ඇතිවූ ජාතිවාදී ගැටුම් සම්බන්ධයෙන් ජනාධිපති අගමැති දෙපාර්ශවයටම ලේ හෝදගන්න බැරි බව මතක් කළ යුතු ය.

#Eastersundayattacklka
  - චමල් අකලංක පොල්වත්තගේ

1 comment:

  1. කිරිඇල්ලගේ කට්ටියක් අල්ලගත්ත ලිපි අන්තර්ජාලයේ පස්සේ හුවමාරු වුනා. ඒකේ අසමගිය කෙසේ වෙතත් ලොකු තැන් බය කරවන දේවල් නම් තිබුණාලු.

    ReplyDelete