Sunday, June 10, 2018

චුල්ල රංගංබණ්ඩාර කෞමාරනුවානන්ගේ කතාවත්තුව

==  ==

ඉදින් පෙර ටසිරිලක සරලාභිධාන නරේන්ද්‍ර මෙත්පල් සිරිසන් නිරිඳානෝ චිචී රාජපක්සාභිධාන කෞමාරණුවානෝ ගගනගත කරන ලද්දාවූ රෝකැට්ටුවක් පරිද්දෙන් අසමගිය, වෛරය, දරිද්‍රතාවය සොයාගත නොහැකි පරිද්දෙන් දුරු කොට ශ්‍රී සමෘද්ධියෙන් යුතුව සරලව ටසිරිලක පාලනය කරන්නාහ.

එතුමාණන්ගේ අමාත්‍ය මණ්ඩලයෙහි පෞත්තාලාම ප්‍රදේශය භාර ඇමැතියා වූයේ රංගංබණ්ඩාර මහාමාත්‍යයාණන් වහන්සේයැ. එතුමාණෝ එ පෙදෙසෙහි කොටළුවන් හා පෞත්තාලාම බූරුවන් විසින්මැ පාලනයට පත්කරගත්තාවූ නියාවෙන් පාලිතාභිදාන යන ගෞරවනාමයෙන් හඳුන්වන ලද්දාහ. ඉදින් මෙතුමාණෝ එපෙදෙසෙහි බූරුවෝද කොටළුවෝද පාලනය කර සරලාභිධාන නරේන්ද්‍ර මෙත්පල් නිරිඳානන්ගේ රාජ්‍ය සේවයෙහි යෙදෙනාතර එතුමාණන්ට දාව දේවීන්වාන්සේට පින්වත් පුත්කුමරෙක් උපන්නාහ. කෞමාරනුවානෝ කස පිළිසිඳගත් දිනයෙහි එතුමාණන්ගේ මෑණියෝ සිහිනෙන් කළු පැහැ බූරු පැටවෙක් දක්නට ලද්දාහ. ඒ පින්වත් පුත් කුමරා උපන් දිනයෙහි පෞත්තාලාම ග්‍රාමයේ බූරුවන් සියල්ලෝම උපරිම ඩෙසිබලායෙන් ආරුගම්බොක්කට ඇහෙනා පරිද්දෙන් හඬගෑ නියාවෙන් ද උපන් ගෙය වටා දහස් ගණනක් බූරුවන් පැදකුණු කරන්නට යෙදුනා වූ නියාවෙන්ද පියාණන්වහන්සේ මෙන්මැ මහාපුරුෂයෙක් වන්නේමයැයි කියා චුල්ල රංගංබණ්ඩාර කෞමාරනුවානෝ ලෙස ගම්වැස්සෝ හඳුන්වන ලද්දාහ..
නීමල් රාජපක්සාභිධාන , යශෝසිතා රාජපක්සාභිධාන , දෝහම් සිරිසන්, චාතූරායික්කා සිරිසන්, මාලකාභිධාන සිල්වෝත්තම , ආදී නේක නේක පින්වත් කෞමාරනුවෝ කුමාරීනෝ මෙන්මැ  මෙකුමරාණෝද සිය පියාණන්ගේ ගම්වරය මහාභාණ්ඩාගාරය රක්ෂා කරනා අග්‍රාමාත්‍යයෙකු පරිද්දෙන් කිසිදු අතුරු අන්තරායක් නොඑනා ලෙසින්මැ පාලනයට හවුල් වූවාහ. පන්සල පල්ලිය කෝවිල බස්නැවතුම්පල පෝලිමෙ හැම තැනද ගමේ බස් එකේ කඩේ ලොතරැයි කූඩුවෙ හෑන්ඩ් පෝන් ලෑන්ඩ් පෝන් දුරකතනයකින් අමතමින්  පවා සිය ගම්වැසි ජනී ජනයාගේ සුව දුක් විචාරමින්, මගුලට මරණෙට දානෙට කොටහළුවට පිහිටවෙමින් එතුමාණෝ  කල් ගත කලාහ. සුවදුක් විචෑරන ලද්දාහ.

මෙසේ චුල්ල රංගංබණ්ඩාර කෞමාරනුවානෝ දිනක රන්සළු පළඳා සඳනැති වේලාවක සිය රථයෙන් කෑලි කැපිය හැකි ගණාන්ධකාරයකැ තනිවම ගමන් කරමින්මැ සිටින්නාහ.  මෙසේ ගමන් ගන්නාතර නිදි මාරයා හෙතෙමේගේ උණ්ඩුකපුච්ඡයෙහි අධිගෘහිත වියැ..
හෙතෙමේගේ ඉස සිට පාදාන්තය දක්වා දහදියෙන් නැහැවී ගියාහ. වෙව්ලනා දෑතින් රිය හසුරවන හෙතෙමේගේ සිහි විකල් විය. නෙතු පරව ගියාහ. කඳුළින් දෑස තෙමින.  එක්වරම හෙතෙමේගේ රථය මග අසල තුබූ අම්බලමකැ ගැටී නතර වියැ. හෙතෙමේ ඒ අසුරු සැනහිම නින්දෙන්ම රථය පදවාගියාතර. කිසිත් නොදත්තේයැ.

පසුදා පෞත්තාලාමේ නගරමධ්‍යයේ සීනුව නාද විය. ගම්වැසි ජනී ජනයාට සිදුවන දුක් කම්කටොළු ගැන පැවසීමට මේ සීනුව සවි කරන ලද්දේ රංගංබණ්ඩාර පිය ඇමතියාණන් වහන්සේ විසින් යැ. ඉදින් සීනු නාද කරන ලද්දේනම් තරුණ කතකි.. ඈ හඬනගමින් පාන්දර ස්නූස් වන්නාවූ වූ එලාමයක් මෙන් සීනුව නාද කරන්නාහ. ඇමතියාණන් වහන්සේ සොයා බලනා කල පෙරදා සිය පුත්‍රයා වූ චුල්ල රංගංබණ්ඩාරගේ රථයෙහි ගැටී අම්බලමේදී ඇගේ දරුවා මියගොස් ඇතියැයි සිසිටීවී බලානාකල දර්ශනය දැනගත හොත්තේයැ.
බැඳුම්කර කහවනු චෙක් ලැබුණාවූ සුජීයෙකු පරිද්දෙන් හාට්ඇටෑක් වූ හෙතෙමේ වහ වහා චුල්ල රංගංබණ්ඩාර කෞමාරනුවානෝ කැඳවන ලද්දාහ. ඉදින් කරුණු විමසූ හෙතෙමේ

ඩේයි විඩ්ඩමාට්ටා....!!! නාං ඔරු දඩ සොල්ලාර්... නූර් දඩ්ව සොල්ලමාද්‍රී...

නුඹ මාගේ පුත්‍රයා නියාවෙන් කිසිදු සමාවක් නැත්තේමයැ.. වහාම මොහුගේ හිස ගසා දමන්නැයි... කියා හෙතෙමේ නියෝග කලේයැ.

තරුණ මව් තොමෝ  රින් දමා සෝදන ලද්දාවූ පරිද්දෙන් වූ ධවල වස්ත්‍ර සාරියක් හැඳ කේශකලාපය කඩා ඉහිරා දරුවා වඩා ගෙන ඉෂිතාම්මෙකු මෙන් හඬන්නීයැ..

අහෝ මාගේ පුත්‍රයාට වූ විපතකැ.. ඔහුට පණ දෙන්නේ කෙසේද.. මාගේ ස්වාමියා කොටස් වෙළඳපොළ කඩා වැටි දිනයේ එයට යටවී මළාහ. මව් ද පියාණෝද මෙගානාට්ටියක් බලනාතර හෙණ ගසා මළහ. ඉදින් දැන් මාගේ පුතුද මළහ. මා කෙසේ අතපය දිගහැර සිටින්නදැයි කියා වැලහින්නක සේ වැලපෙන්නාහ..

වහා යදමින් බැඳ විලංගුලා ඇය අසලට පා නැගූ චුල්ල රංගංබණ්ඩාර කෞමාරනුවානෝ...

"නැගනියනි.. කුමටද සොබනියෙ කඳුළු සලන්නේ..
මා නුඹේ දරුවා අනතුරට පත් නොකලෙමි.. රතය අනතුරට පත්වන විට මා රියදුරු අසුනේ සිටියා පමණි...

අහෝ ඒ කුමන නස්පැත්තියක්ද.. ඉවසන්න මදක්.. නැගනියනි.. සමාවුව මැන.." යි කියා..

රැස්ව සිටි ජනයාට කෑගසන්නාහ..

"ඉදින් නුඹලා සතුව යම් දියරයක්ම වේනම් මා වෙත වහා දෙනු මැන. "

රැස්ව සිටින ලක්ෂ සංඛ්‍යාත ජනී ජනයාතරින් කසු කුසුවක් පැන නැගුනි.  එයින් එක් මහල්ලෙක් පැමිණ..

පුත මා සතුව ලබල පෝයට ලතක්කාගේ පොට් එක වැසීමට කලින් ගන්නාලද වොඩ්කාමෘත කශාය බඳුනක් පමණක් ඇත්තාහ. ඉදින් එයින් වැඩක් වේ නම් තොප ගනුවැයි කීහ..

.කලාබරයකි මලහත්තිලව්වට ගසන ලද..
ඉදින් වහ වහා එය සිය සුරතට ගත් චුල්ල රංගංබණ්ඩාර කෞමාරනුවානෝ මහ මගෙහි එරමිණියා ගොතා හිඳගෙන වොඩ්කාමෘත පුරවා සුරතේ හොවා.. ජලය වයින් කලාවූ ගලීලයේ තරුණයා මෙන්

" ඉදින් මා මෙතෙක් කරන ලද්දාවූ යම් කුශලකර්මයක් වේ නම් මේ දරුවාට ප්‍රාණය නැවත ගෙන දීමෙහිලා මේ වොඩ්කාමෘත කශාය බඳුන දිය බඳුනක්ම වේවා...!! "

කියා අධිෂ්ඨාන කර සත්‍යක්‍රියා කරන්නාහ..
අහෝ පුදුමයකි..!!!
ඒ වොඩ්කාමෘත කශාය බඳුන දිය බඳුනක්ම වියැ. සිය සත්‍යක්‍රියාවේ ආනුහාවය දුටු හෙතෙමේ වහ වහා පිපාසයෙන් පෙළෙන දරුවාට පියෙකු මෙන් සිය දෑතින්ම දිය බිඳක් පෙව්වාහ.

ගතවූයේ ඇසිපිය ගසන සැනකි..

වැස්සටහුඩු ජීඩීපීයැ..!!

මළ දරුවා ඔහෑ.. උහෑ උහෑ.. ගා.. හඬන්නට වන්නාහ..
ඒ දැක තෙල තරුණ මව්තුමෝ සිය දෑසින් වැටෙන කඳුලැලි සාරිපොටෙන් පිසින්නාහ.. රැස්ව සිටි දනන්ගේ කඳුලැලිවලිම් පෞත්තාලාම නගරයේ කාණු පිරී ඉතිරී ගියාහ.. ඒවා දැදරු ඔයට එක්වී වොක්ස්වෑගන් කර්මාන්තායතනය යටකරගෙන ඇතුගල්පුරට ගංවතුර ගැලුවාහ..

අහෝ මාගේ අයියණ්ඩිය නාඳුනන.. ඔටුවෙකි නුඹ කතරට සහරා..!!!
මා කෙසේ නුඹට තුති පුදන්නද කියා නැවතත් ඕ තොමෝ හඬන්නට වූවාහ..

ඉදින් රැස්ව සිටි ජනී ජනයා චුල්ල රංගංබණ්ඩාර තෙමේට දණ බිම හොවා වන්දනාකර සාධුකාර දුන්නාහ..

අකලංකාරයෙහි එන චුල්ල රංගංබණ්ඩාර කෞමාරනුවානන්ගේ කතාවත්තුව නිමියේයැ..

#අකලංකාරය
  - චමල් අකලංක පොල්වත්තගේ

2 comments: