Tuesday, June 12, 2018

යසෝදරා බැලීමි.

ඒක චිත්‍රපටයක් බැලුවට වඩා තොරණක් බැලුවා වගේය. පටන් ගනිද්දී චිත්‍රපටයට පාදක කරගත් පොත් අටෝරාසියක නම් දැම්මාට චිත්‍රපටයේ තිබ්බේ සිදුහත් කුමාරෝත්පත්තියේ සිට බුද්ධත්වය හා යසෝදරාවගේ මරණය දක්වා අපි දන්නා කියන ප්‍රසිද්ද සිද්ධි ටික රඟපාලා ය. ඒ ඒ කොටස ඒ එ සීන් එකෙන් දක්වා ඇත . මං පොඩි කාලේ හතර වසරේ ඉන්නාවිට බුද්ධ චරිතයේ ඇනිමේෂන් කතාවක් බලා ඇති අතර අද ඒක මතක් විය. චිත්‍රපටයක් කියනවාට වඩා වාර්තාමය වැඩසටනක් කීම සුදුසුය.

"මහමායාට අසාධ්‍යයි." කියා ප්‍රජාපතී දේවිය සුද්ධෝදන රජු ළඟට  දුවගෙන එන්නේ "අම්මේ වහිනෝ රෙදි වැලේ "  කියන්නා වාගේය.  සුද්ධෝදන රජුගේ මාලිගාව හදා ඇත්තේ වෙන්දේසි ඉඩමකය. පර්චස් විස්සක් වත් නැතුව ඇතිය. මාලිගාව පුරා සූ ගාලා පහක් හයක් එහෙ මෙහෙ යයි. එහෙම නිස්කලංක මාලිගාවක් දමා සිද්ධාර්ථ ඇත්තටම කැලේට ගියේ මොකටද කියා හිතුනි. එක්කෝ ඒකෙ ඉන්න උන් ෂූටිං වලට බයේ හැංගිලා ය.

සිදුහත් කුමාරයයි දේවදත්තයි සිල්ප දක්වනවාට වඩා හොඳට ඉස්කෝලෙ ඉන්ටවල් එකට පොඩි උන් ගහගන්නවාය. අහසට පිඹිනා එරං කලේයා පොලොවට පිඹිනා බූමි කලේයා කියා කලගෙඩි නැටුමක් හෝ ලී කෙලි නැටුමක් නැටුවානං ඊට වැඩිය හොඳය.  ආ මේං ඔයාට කඩු පාරක්.. පලිහ අල්ලන්න ඕනෙ හොඳේ කියා  පහර දෙයි.
ඇරත් ඒ සිල්ප දැක්වීමට බලන්නට හිටියාට වැඩිය සෙනගක් පෙරටුගාමී පක්සෙ මීටිමකටත් එනවාය. සාක්‍ය කෝලිය නුවරවල් වල රාජ කුමාරවරුන්ගේ සිල්ප දැක්වීම බැලීමට ඇවිල්ලා හිටිය ඔක්කොම උන්ව කුබෝටා එකක දැමිය හැක. උන් දෙන්නා තනියම ගහගත්තානං ඊට වඩා නම්බුය.චිත්‍රපටය පුරාම ඔය අඩුපාඩුව එහෙම්මම තිබූ අතර දර්ශන තල වල පටු බව හොඳින්ම දැනුනි. 

මම හිතනා විදිහට මේ චිත්‍රපටයේ ක්ලයිමැක්ස් එක යශෝදරා බුදුන්ගේ පාද අල්ලා අඬන අවස්ථාවය.. අවුරුදු හයක් නුදුටු ඇය කියන පරිදිම විශ්වයේ ඇය ආදරය කරන එකම වස්තුව වූ සිද්ධාර්ථ දකින පළමු මොහොතේදී සැබෑ යශෝදරා දේවිය තම ස්වාමියා වූ බුදුන්ගේ පාද අල්ලා ඇඬූ ආකාරය ඉතාමත් නාට්‍යානුසාරීව සිදුකල හැකිව තිබුණි. නමුත් එයට වෙන් කර තිබුනේ විනාඩියකටත් අඩු කාලයකි. ඒ සිදුවීම නිධානය චිත්‍රපටයේ අවසානයේ ගාමිනී මාලනී නිධානය ගන්නා අවස්ථාව මෙන් ඓතිහාසික එකක් කිරීමට තිබුණත් යසෝදරාගේ හෙයාර් ස්ටයිල් එක මේකප් එක ලිප්ස්ටික් සියල්ල කිසි වෙනසක් නොවී එසේම තබාගෙන කඳුළු බිංදු තුන හතරක් හලා ප්ලාස්ටික් කකුල් දෙකක් බදාගෙන ඉකි බිඳ විහිලුවක් කලේය. ස්වප්නා වගේය. යසෝදරාට කුඩා කාලයේ ලබා දුන් එන්නත් සලකුණක්ද ඇගේ අතක දැක්කා මතකය.

ඒ වගේම චිත්‍රපටයට යසෝදරා කියා නම දමා සිදුකර ඇත්තේ යසෝදරා දේවියව විකිණීමය. මොකද චිත්‍රපටය පුරා තිබුනේ සාමාන්‍යයෙන් අපි දන්නා බුද්ධ චරිතය කතාව මිස වෙන එකක් නෙමේය. යශෝදරාවගේ චරිතය ඉලිප්පීමට සැබෑ උවමනාවක් තිබ්බානං සිද්ධාර්ථ ගිහිගෙය හැර ගිය හය අවුරුද්දේ යශෝදරාව ජීවිතය  ගෙවුන ආකාරය චිත්‍රපටයට ඇතුළු කරන්නට තිබ්බාය.

ඇරත් අවසානයේ පිරිනිවන් පාන්නේ තරුණ යශෝදරාමය. ඇයගේ වයසේ හෝ රූපයේ කිසිදු වෙනසක් සිදුවී නොමැත. හිටියාටත් වැඩිය ලස්සනය.
නමුත් මම දන්නා බුදුදහමට අනුව බුදුන්ද අවසාන කාලයේ ආනන්ද තෙරුන්ට කියන්නේ ආනන්ද මට වෙහෙසයි මහළුයි කියාය. සියළු සංස්කාර ධර්මයෝ නැසෙනවා කියාය. නමුත් යශෝදරාට එය අදාල නොවී ඇත.
තුමිඳු දොඩංතැන්න ඉන්නේ කවිකාරයෙක්ටය. කවිකාරයා චිත්‍රපටය පුරා කවි කියයි. වෙන දේවල් පවසයි. වෙලාවකට හිතෙනවා ඒකත් ජෙහා... එක්කො ඕන්නෑ..

අන්තිමට හිතුනේ "උප්පලවණ්ණා" හදපු සුනිල් ආරියරත්නමද මේක හැදුවේ කියාය.
.
  -චමල් අකලංක පොල්වත්තගේ

3 comments:

  1. යසෝදරාට කුඩා කාලයේ ලබා දුන් එන්නත් සලකුණක්ද ඇගේ අතක දැක්කා මතකය.////omg

    ReplyDelete
  2. https://gadyanohothkavi.blogspot.com/2018/06/blog-post_28.html

    ReplyDelete
  3. හෙහේ, මේක බලන්න යන්න හිත හිතා හිටියෙ.. හොඳ වෙලවට මේක දැක්කෙ :D

    ReplyDelete