Tuesday, June 26, 2018

තැපැල් වර්ජනය ගැන දැඩි තීරණයක්

ජනාධිපතිතුමා තැපැල් වර්ජකයන් හමුවීමෙන් අනතුරුව සිදුකල කතාව..

""මම තැපැල් සේවකයන් හමුවුනා.. එයාලා හිටියෙ මගෙ මූණට මූණ බලාගෙන.. ජනාධිපති ලේකම් කාර්‍යාලෙ සාකච්ඡා මේසෙ ඉඳගෙන..  එයාලයි මගෙයි අතර අඩි කිහිපයක පරතරයක් තිබ්බෙ. මම එක්ක තවදුරටත් සටන් කරනවද.. නැත්තං පරාජය බාරගන්නවද කියලා එයාලා තීරණයක් ගනිමින් හිටියෙ.

මම එයාලා එක්ක කතා කලා..  කතා කරලා තෝරා ගැනීම් දෙකක් දුන්නා. වැඩට ඇවිල්ලා ලියුම් බෙදන්න පටන් අරන් මේ සෙල්ලම නවත්තනවද.. නැත්තං ගෙදරට වෙලා ඉතිරි ජීවිතකාලෙ ගතකරනවද කියලා..

මේ වර්ජනය මගේ රට සතියකට වැඩි කාලයක් තිස්සෙ ආපස්සට ගෙනිච්චා. රටේ වැඩ ඇණහිටලා. උසාවි වල මුද්දර ගාස්තු ගෙවාගන්න විදිහක් නෑ. මිලියන ගණනක් මහජන මුදල් අපතේ යනවා. රාජ්‍ය සේවයෙ වැඩ හිරවෙලා. ළමයින්ට විභාග වල ලියුම් යවාගන්න බෑ. මහජනතාවගෙ ලියුං ලක්ෂ විස්සක් ගොඩ ගැහිලා. දැනගන්න ලියුං ලක්ෂ විස්සක්..!!

"ඔබලා කැමතිනං මේක දිගටම කරගෙන යන්න. ලියුම් බෙදන එක නතර කරගෙන ඉන්න. හැබැයි හොඳින් මතක තියාගන්න. මම මගේ රටේ මහජනතාව එක්ක එකතුවෙලා හොඳ පාඩමක් උගන්නනවා. මම මහජනතාව එක්ක අලුත් තැපෑලක් පටන් අරන් හරි ඔය හැමෝටම ගෙදර යන්න වැඩ සලස්වනවා.

එහෙම නැත්තං ඔයාලට පුළුවන් අද ඉඳලා සේවයට වාර්තා කරන්න. ඔව් ඔයාලට පුළුවන් වැඩ කරන ගමන් මම එක්ක සාකච්ඡා කරන්න. ඊට පස්සෙ අපි තීරණයක් ගමු. මුලින් විනයගරුක වෙන්න.
එයාලා තේරුම් ගත්තා තවදුරටත් මම එක්ක සටන් කරලා පලක් නෑ කියලා. එයාලා පැයකදි නැවත ලියුම් බෙදන්න තීරණය කලා.
එයාලා දැනගත්තා එයාලා නැතුව මට තැපෑල කරගෙන යන්න පුළුවන් කියලා. මම තැපෑල අත්‍යාවශ්‍ය සේවයක් බවට පත් කරලා හරි නැවත රටේ වැඩ යතාතත්වෙට ගේනව කියලා එයාලා දැනගත්තා. මගේ හැකියාව ගැන එයාලට තේරුනා. මෙ රට පාලනය කරන ඕනම නායකයෙක්ට ඒ හැකියාව තියෙන්න ඕනෙ. ඒ හයිය තියෙන්න ඔනෙ. බැරිනං දාලා යන්න ඕනෙ." මේ රට හදන්න මගේ ජීවිතයම කැප කලා. මේක එහෙම එක වර්ජනේකින් වැටෙන්න දෙන්න බෑ.. මේ අපේ ජීවිතය. මේක අපේ රට.."

නෑ නෑ නෑ අයියෝ.. මෙහෙ කරපු කතාවක් නෙමෙයි ඔය.  ඕකෙ තැපැල් වර්ජනය වෙනුවට ගුවන් නියමු වර්ජනය දාලා ආයෙ කියවන්න. "මම" කියන්නෙ සිංගප්පූරුවෙ හිටපු අගමැති ලී ක්වාන් යූ මහත්තයට.
එයා සිංගප්පූර් එයාර්ලයින්ස් එකේ ගුවන් නියමු වර්ජනේ වෙලාවෙ කරපු සුප්‍රසිද්ධ කතාව ඔය. මේ ලින්ක් එකෙන් කතාව අහන්න පුළුවන්.
https://youtu.be/ytMXSLeqFMY

-----

හෝ හෝව් හෝව්.
ඕකුන්ව මරලා හරි වර්ජනේ නවත්තන්න ඕනෙ කියලා හිතුනද. නෑ මේ එහෙම එකක් නෙමෙයි කියන්නෙ. නියම නායකයා කියන්නෙ මරලා ගහලා බීසනේ පතුරලා අතුරුදන් කරලා රටේ වැඩ කරන කෙනාට නෙමෙයි. එයාලට කියන්නෙ ත්‍රස්තවාදියො කියලා. ඒක කෙලින් වැඩ කිරීම නෙමෙයි. ඒක බලුකම. ඒක හින්දා දෙක පටලගන්න එපා. නායකයා කියන්නෙ ත්‍රස්තවාදියට නෙමෙයි.. මේ ආණ්ඩුවට කොන්ද පණ නෑ. වැඩ කරගන්න බෑ. ඔව් අනිවා මුං ෆේල්. ඒකෙන් කියවෙන්නෙ නෑ ත්‍රස්තවාදියො ඕනෙ කියලා. පටලගන්නෙපා.

අහ් අපේ ජනාධිපතිතුමාගෙ පොටෝ එකද.. ඒකෙයි මේකෙයි සම්බන්ධයක් නෑ. එතුමා සිරියාවන්ත හින්දා දැම්මෙ.

#අකලංකාරය
  - චමල් අකලංක පොල්වත්තගේ

No comments:

Post a Comment