Monday, June 18, 2018

පුට්බෝල්

එක බෝලෙකට ඔක්කොම මරාගන්නෙ ඇයි වගේ ගොංකතා නොකිව්වට සිංහලේ හාන්දුරු කෙනෙක් බුද්ධාගම ගැන දන්න තරංවත් පුට්බෝල් ගැන දන්නේ නැත... ඔය අනිත් උන් බෙදාහරින ඒවට හාට් දාන්නෙ දැනගෙන නෙමෙයි. මැච් බලනවා. අර දැල් දැල් කොටුව ඇතුලට ගියාම ලකුණක් හම්බෙනවා කියලා දන්නවා. බෝලෙ එලියට ගියාම හයක්ද හතරක්ද කියල හරියටම දන්නෙ නෑ. රතු කාඩ් එකක් පෙන්නුවම එලියට යන්න ඕනෙ කියලා දන්නවා. රොනාල්ඩෝ ක්‍රිස්තියානි කියලා දන්නව. අනේ උන්ටත් මල සමයං. මොකෝ ක්‍රිස්තියානි කියලා පපුවෙ ගහන්න ඕනෙද. ඔය අපේ සංගක්කාරලා බෞද්ධ සංගා කියලා ගහගෙන යනවෑ.. එතකොට ලෝක සූර ජර්මනිය මෙක්සිකෝවට පැරදුනාට ලංකාව තාම මෙක්සිකෝවෙන් මැච් එකක් පැරදිලා නෑ කියලා දන්නව. ඒ කියන්නෙ අපි ඉන්නෙ ජර්මනියට උඩින්.

ජර්මනියට රුසියාවෙ පොළොව අපලයි  එදා ඉඳන්ම, ඉතින් මොකක් කරන්නද. ගංගා මෑණියන්ට කියල හරි අනුරාධපුරේ ඥානා මෑණියන්ට කියල හරි ගුරුකමක් කරගත්තා නං හරි. කොහෙද මේ දවස් වල අපෙ මහසංගරත්නය වැලිකඩ වැඩම්මනවා,. අටපිරිකරට තුන්සිවුරයි අඳනකඩෙයි එක්ක ජම්පරෙත් දාලා නම පිරිකරක් හදන්න යනවලු යහපාලනෙන්., ඥානසාර හාමුදුරුවෝ නිදහස් කරන්න කියලා මහසඟරුවන පිණ්ඩපාතෙ වඩිනවා දුකේ බෑ.. මරණෙට කැපවෙච්ච හරකෙක් උනත් ඔයිට කලින් නිදහස් කරලා. කිරිවෙහෙර හාන්දුරුවන්ට වෙඩි තියලා. කතරගම දෙයියො වැස්සවලාහක දෙයියන්ට විමානෙ බාර දීලා මේ දවස් වල වැහි සීසන් එක හින්දා දිව්‍ය ලෝකෙ වැඩම්මලා ඉන්නෙ. නැත්තං ඔහොම නස්පැත්තියක් වෙන්න දෙනවද. ඉතින් ජර්මනියට දිනන්න කියලා දෙයියන්ට බාරයක් වෙලත් තේරුමක් නෑ. පුට්බෝල් පෑන්ස්ලා දිගට හරහට පඬුරු ගැටගහන්න යන්නෙපා. වැස්සවලාහක දෙයියො රුසියාවට වස්සන්න ගත්තොත් එහෙම පුට්බෝල් පැත්තකින් තියලා ජලක්ක්‍රීඩා කරන්න වෙන්නෙ.

ලංකාව එදා ඉඳන්ම තමන්ගෙ රටේ සම්පත් වලට අත දුන්නෙ නැති රටක්. ප්‍රින්සිපල් දණගස්සපු චාමර සම්පත්, වගේ සම්පතෙක්ට අත දුන්නොත් මිසක් වෙන ජාතික සම්පත් වලට අත දෙන්න එක කැස්බෑවෙක් නෑ. ඉරිසියාකාරයො. රනිල් ලොක්කගෙ මස්තිෂ්කය යූස් කරලා ලංකාවෙ නංගිලා මල්ලිලගෙ පුට්බෝල් නංවන්න වැඩසටහනක් හදන්න බැරිද දන්නෑ. කුලියාපිටියේ ඉඩනුත් ලාබයි.

පුට්බෝල් වර්ල්ඩ්කප් එකට අපිට යන්න බැරිඋනා කියලා නහයෙන් අඬ අඬ එක එකා සෙල්ලං කරනවා බලන් ඉන්න ඕනෙ නෑ අපේ කොල්ලන්ට අත දුන්නනං. මොකෝ ලංකාවෙ උන්ට බෝල වලට පයින් ගහන්න බැරුව නෙමෙයිනෙ.
අපරාදෙ කියන්න බෑ ඉතින් ලයනල් මෙසී, ඩැනී අල්විස්, ලුවිස් සුවාරිස්, තියාගෝ සිල්වලා වගේ ලංකාවෙ කොල්ලො ටික සෙල්ලං කරනවා හෝ සෙල්ලං කරපු හින්දා උන් වෙන රටක උනත් අපේම උන් නේද කියන හැඟීමෙන් මැච් බලන්න පුළුවන්. අපේ උන්ට උන්ව අගයක් නැති උනාට ඒ රටවල් වල මිනිස්සු උන්ගෙන් කොච්චර වැඩ ගන්නවද කියලා බැලුවම දුකේ බෑ.
අනේ ඉතින් එක අතකට බලනකොට ඕවත් තේරුමක් නෑ. ඔය සැනකෙලි තියලා ගෑණු ළමයි පපුව පෙන්නගෙන කොටට ඇඳගෙන කරන විගඩම් හින්දා කොච්චර හානියක් වෙනවද අපේ සංස්කෘතියට සභ්‍යත්වයට. ඒක හින්දා ඔය මගුල් සෙල්ලම මෙහෙ නොකරන එකමයි හොඳ. සිරිසේන මහත්තයා දැක්කනං පුට්බෝලුත් තහනං කරලා එල්ලෙ ගහපන් හිටං කියයි. එල්ලෙ හිටං ගහන්නැතුව ඉඳන් ගහන්නද. ඔන්න කැරම්නං ඉඳං ගහතෑකි. අනික ඔය වියදන් කරන සල්ලි වලින් ලංකාවෙ අහිංසක දුප්පත් ප්‍රාදේසීය සබා මන්ත්‍රීවරු කී දෙනෙක්ට වතුර මෝටර් අරන් දෙන්න තිබ්බද. ළමා නිවාස දාන්න සල්ලි දෙන්න තිබ්බද. හෙන ගහන්න ඕනෙ යහපාලනේට.  මහින්ද මහත්තයා හිටියනං රගර් වගේ පුට්බෝලුත් නග්ගලා ගන්නව නාමල් අයියව කැප්ටන් කරලා හරි. දැන් ක්‍රිකට් වලට වගේ පාරෙ බාබකිව් වෙන්න දෙන්නෑ..


  - චමල් අකලංක පොල්වත්තගේ

1 comment: