Monday, March 6, 2017

සිංහම්‍යාණන් හා යාත්‍රාංගනයේ වික්‍රමය


====

අකලංකාරයෙහි සිංහම් කතාවත්තුවේ එන යාත්‍රාංගනයේ වික්‍රමය පරිච්ඡේදයෙන් උපුටා ගන්නා ලදී..

සක්‍රයාගේ මාලිගය තනා නිමකරනු වස් විස්කම් දෙව්පුත් තෙමේ ගෙනා ගඩොළු එකමත එක අතුරාළූ කළෙක මෙන් තැන් තැන් හී ගොඩගසන ලද්දාවූ මහා වානේ බහාළුම් ගණකාභයෝය.. ඒ බහාළුම් මත්තෙහි වැටුණා වූ විදුලි ආලෝක කදම්භයෝ අළුයම් යාමෙහි හිමාල වනයේ තුරු පත් අතරින් වැටී එන සූර්‍යාලෝකය මෙන් ගණාන්ධකාරය මැඩ පොළොවට පතිතවන්නාහ..
නාවුක යාත්‍රාංගනයේ පයෙන් තුබූ ස්පර්ශයෙන් මහපොළොව දෙදරා ගොදුරු සොයා තනිව ඇදෙනා මිගිදෙකු මෙන් තේජමානව ඇවිදින්නාවූ සිංහම් ය.. විභීෂණ දේවතෞත්තමයාණන් මෙන් මුවවිටින් කොපුල් දෙපසටැ කරකැවූ උඩු රැවුලින් සැරස හාවකු පසුපස ලුහුබඳිනා රාජාලියකු සේ තියුණු වූ දෙනෙතින් හේ මැරයන් සොයා සක්මන් කරන්නාහ..
යාත්‍රාංගනයේ ලෝහයෙන් තනන ලද්දාවූ විසල් පඩිපේලි දෙදර දෙදරා පෙළට බස්නා මැරයෝය.. බහාළුම් ගණකයෝ අතරින් පහණට පැමිණෙන්නා වූ බිග් මැච් මැද පිටියට පනින ලද සිසුවෝ මෙන් ඇදෙනා මැරයෝය.. අකුණු පහරින් බබලනා යගදා මෙන් වානේ මන්නා දෑත දරාය.. දත් විළිස්සාය.. මුව රෞද්‍රය.. එකෙක් අත ලෙලව ලෙලවා පැමිණෙන විසල් අසිපතකි.. තවකෙක් අත කමිස කරෙන් බැස පිටමත්තෙහි ගොස් සරමෙහි රැඳුනා වූ අගින් වක් වූ මන්නයකි.. තවකෙක් අත කුරුඳු පොල්ලකි..
අංගනය පොළොව මත්තහි නිරුවත් දෑතින් පමණක් සන්නද්ධ නවක වදය දීමට ජුන්නෙක් සොයන ජේස්ටෞත්තමයෙක් මෙන් බලා සිටින සිංහම්යෝය..

විල් තෙරෙම වටකර සැදි මහා වනස්පතියෝ නිසාවෙන් පොළොවට නොවැටෙනා චන්ද්‍රාලෝක කදම්භයෝ අනවතප්ත විල මත්තෙහි වැටී බබළන්නාක් මෙන් සිංහම්‍යාණන් සිටින්නා වූ පොළොව මත්තෙහි විද්‍යුතාලෝක  කදම්භයෝ වෘත්තයක් සාදමින් හෙතෙමේගේ දඩයමට සුභ පතන්නාක් මෙන් වැටී බබළන්නාහ..

නන්දිකඩාල් කලපුවේදී වේලුපිල්ලෙයි හා තනිව සටනට බට කොමදෝරු යසෝෂිතා රාජපක්සාභිධාන කුමරුන් මෙන් යාත්‍රාංගන භූමියේ විද්‍යුතාලෝක කදම්භ වෘත්තය මස්තකයෙහි සිංහම්‍යාණන් බැලූ සැනින් දවා අලු කරන තියුණු නෙතින් බලා සිටින්නාහ.. හෙතෙමේගේ දෑතෙහි අත්ල මත එක්වූ අතැඟිලි සියල්ල එකක්ම වූ කලෙක යදමකින් බඳින ලද සංගක්කාරයාණෝ සිය පිත්ත දැඩිව අල්ලා සිටින්නක් මෙනි දැඩිව අත්ල ග්‍රහණය කර මිට මොළවන ලද්දාහ.. දෑතේ සිට ළය මඩලට යන්නාහූ ධමනියෝ ද ශිරාවෝද ඉලිප්පී කර මතින් කමිසයම තෙත්කර වැටෙන්නාවූ දාබිඳු වලට පොළොව සිප ගන්නට මග සදන්නාහ..



" ඩේයි... වාඩා...!!! "

යාත්‍රාංගනයේ නවතනාලද්දාවූ මහා යාත්‍රාවෝද සයුර දිය මත්තෙහිම ලෙලවමින් ඇතුන්ගේ කන් අඩි පැලීයන ලෙසේ ගර්ජනා කරන්නාවූ සිංහරාජයෙකු මෙන් ගෙලෙහි නහරයෝ මත ස්වර්ණමය රේඛාවක් සාදමින් ගිගුම් දෙමින් හෙතෙම හඬ අවධි කරන්නාහ..

ආලෝක කදම්භයෝ වැටී බබළන්නාවූ නෙක නෙක ආයුධයන්ගෙන් සන්නද්ධ වූ රෞද්‍ර මැරයෝ සිංහම්‍යාණන් වටා කවාකාරයෙන් දත් විළිස්සා රවා පහර දෙන අටියෙන් බලා සිටින්නාහ..

එක් වරම කවය බිඳ හෙළමින් සත් රියන් දික් අසිපතක් ගත් කාලවර්ණ උත්තුංග දේහධාරී සිව් බඹක් උස මහා පුරුෂයෝ සුරතෙහි රැඳි අසිපත ලෙලව ලෙලවා සිංහම්‍යාණන් දෙසට ඩේ....යි... කියා ඇදෙන්නාහ..
සිංහම්‍යාණන් නිසලය.. එල්ල කරන ලද තියුණු වූ දෑසින්... මිටින් ගත් අම්බුජා සිමෙන්ති කොන්ක්‍රීට් කුට්ටිය කුඩු කරන තරම් දැඩි වූ දෑතින් පොළොව මත්තෙහි සිටවූ යගධාවක් මෙන් බලා සිටින්නාහ..
ක්ෂණය ක්ෂණය විදුළියක් සේ පැමිණෙන මැරයෝ සිය කඟපත ඔසවා සිංහම්‍යාණන් ගේ ගෙල එල්ල කර වැරෙන් පහර දෙන ලද්දාහ..  සිංහම්‍යාණෝ සිය මිටිකර ගත් සුරතින් මහා කාල පුරුෂයාගේ විසල් උදරයට එක් පහරක් එල්ල කර දෑත් පපුව මත්තෙහි බැඳගත්තාහ.
අහෝ පුදුමයකි..!!
මුවින් සෙම්.. රුධිරය පෙරා..  වොට් පහක බල්බයක් මෙන් රක්ත තප්ත වූ දෑස් විසල් කර කඟපතද අතැර මහා කාල පුරුෂයෝ පොළොව මත්තෙහි වැටුණාහ..පොලොවෙහි ගැසූ ටෙනිස් බෝලයක් මෙන් දෙවරක් ඉපිලී ගිය හෙතෙමේ දුහුවිලි වලාවකින් විද්‍යුතාලෝකය මොහොතකට අඳුරේ හෙලා මැදින් කපා ලූ කෙසෙල් කඳක් මෙන් පතිත වූවාහ.. දෑස් වසා ගත්තාහ..

එදෙස බැලූ කවයෙහි සිටි සැටක් පමණ වූ මහා පුරුෂයෝ නැවත දත් විළිස්සා මුව අයා සිංහම්‍යාණන් දෙස බලා සිටින්නාහ..

මිටින් ගත් දිගු යදමක්මැ සමග කැරළි කොණ්ඩය බැඳි තවත් මහා පුරුෂයෙකු සිංහම් දෙසට ඇදෙන්නාහ.. නිසොල්මනේ ගොදුර පැමිණෙන තෙක් සිටින ව්‍යාඝයෙකු මෙන් හිස මදක් පහතට කර දෑස් එල්ල කළ සිංහම්‍යාණන් බලා සිටින්නාහ.. හෙතෙම වෙත පැමිණි අනෙක් පුරුෂයෝ යදම වැරෙන් ලෙලවාලීය..ඇසිපියක් සැලෙන සැණ සිය හිස පහතට ගත් සිංහම්‍යාණෝ යදම නිදැල්ලේ හැරියාය.. අවකාශයේ රේඛාවක් හඳිමින් මිදුණ යදම මැරපුරුෂයාගේ අත රැඳුණ කල සත් බඹක් උස ගුවනට බට සිංහම්‍යාණෝ පුරුෂයාගේ ගෙලට සිය දෙදණ හොවා යදම ගෙන පුරුෂයාගේ ගෙලෙහි සිය වටක් බමා යදම් කොණකින් ඇද්දාහ.. ගෙලින් මිදෙන යදමේ බලයෙන් සුළි සුළං ධාරාවක් මෙන් නොපෙනෙනා තරම් වේගයෙන් බමණ ලද පුරුෂයාණෝ කලින් තෙමේ මෙන්ම මුවින් රුධිරය පෙරා බිම වැද හොත්තේය..

තවකෙක් වක් මන්නයක් ගෙන පැමිණෙන්නාහ.. වහා ගුවනට බට අපමහා සිංහම්‍යාණෝ සිය දෙපා බහාලුම් ගණකාභයක් මත හරහට තබ ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ කැඩුණු ටෙලිපෝන් ලයින් එකක් අභ්‍යාවකාශයේ පාවි පාවී සවිකරන අජටාකාශගාමියෙකු මෙන් ඇවිදිමින් ගමන් කර මැර පුරුෂයාගේ පසුපසට පැන්නාහ.. අහෝ විෂ්මයකි.. මාගේ ඉදිරියෙහි සිටි හෙතෙමේ කෙසේ මාගේ පසුපසට පැමිණියේදැයි තුෂ්ණිම්භූත වූ පුරුෂයානෝ සිය වක් මන්නය එල්ල කර පහර දුන්නාහ..
ඉදිරියට බට සිංහම්‍යාණෝ සුරතින් පුරුෂයාගේ මන්නය අල්ලාලීය..වානේ මන්න තලය ඇද විය. .. වමතින් ඔහුගේ දෑත මිරිකාලීය.. දඬු අඬුවකට හසුවූ ලී කැබැල්ලක් එල්ල කල මිටි පහරින් කැඩී වෙන්වී යන්නාක් මෙන් මැර පුරුෂයාගේ සුරතින් වක් මන්නය ගිලිහී පහර වැද හෙතෙමේගේ සුරත මැදින් වෙන් වීය.. සුරත වෙන්වනලද්දාවූ තැනින් පිටතට රුධිර කැටි පෙර පෙරා සම් මස් නහර ඉරා දමා පිටතට පැමිණි අස්ථිය වමතින් අල්වා මැර පුරුෂයාණෝ බිම ඇද වැටුණාහ..
ඔහු ගුවනට බට විට දිස්වන්නේ මහා සිංහරාජයෙකු සිටින සේයැ..

අහෝ මේ නම් මහා පුරුෂයෙක්මැ. මොහු චාතූර්‍ය සෙනරතාණන්ගෙන් සටන් උගෙන ඇති සේමැයි... අපට තනි තනිවැ ගොස් මොහු අභිබවාලූ නොහැකිවේයැ.. සියල්ලෝම ගොස් මොහු මරා බොස් දිනවාලීමූ යැයි කියන්නාක් මෙන් එකිනෙකා දෙස බැලූ නම පනස් මහා පුරුෂයෝ සිය පොලු මුගුරු යදම්වැල් අසිපත් කිනිසි වක් පිහි මන්න ගෙන කවාකාර ලෙසින්ම සිංහම්‍යාණෝ දෙසට දිව එන්නාහ..

ඈතින් යාත්‍රාංගනයේ පොළොව දෙදර දෙදරා පොලීසිය දෙසට බැරියර් පෙරලීමට පැමිණෙන අන්තරේ මෙන් දිවෙන මැරයෝය.
මධ්‍යයෙහි සිටගෙන වරෙන් තොපිව නාවල අඬෝලා යවන්නම් කියා බලා සිටින කැරලි මර්දන ඒකකය මෙන් සිය දකුණු පාදය මදක් පසෙකට කර බලා සිටිනා සිංහම්‍යාණෝ ය..
ඈතින් කඩු පොලු මුගුරු අසිපත් ගත් මැරයෝය..
මෑතින් නිරායුධව දෑතම සිට යගධාව කර මිටින් මොළවන ලද දෑතින් බලා සිටින සිංහම්‍යෝය..
ඈතින් දන්තාලේප දැන්වීමක් මෙන් මුව අයා දත් විලිස්සා දිවෙන මැරයෝය..
මෑතින් සිය මුවින් සිනාසී වාඩා කියා උපහාසයෙන් බලන සිංහම්‍යාණෝ ය..

සැණින් මැරයෝ කඩා වැදුණාහ..
එක් පන්දුවක් මතට පනින්නාවූ රග්බි ක්‍රීඩකයෝ මෙන් මැරපුරුෂයෝ සිංහම්‍යාණෝ ගේ සිරුර මත්තට වැද්දාහ..

නිමේෂයකි...!!!

නිසල දිය මතට එක්වරම ඇද දැමන ලද්දාවූ පාෂාණ කැබැල්ලක් නිසා මධ්‍යලක්ෂයේ සිට දස දිශාවටම දියවැල් විසිරී යන්නාක් මෙන් සන්නද්ධ මහා පුරුෂයෝ ගුවනින් දසදිගටම විසිරී යන්නාහ.. මුව අයා දත් විලිස්සා සොළොස් බඹක් අහසට බට සිංහම්‍යාණන් තවමත් ගුවනේයැ.. මැර පුරුෂයෝ මරණීය පහර කෑ පා විහිදා ගුවනේ සිට සිය වෙදැඟිල්ල වනා කමිස කොලරය සාදා හෙතෙමැ ක්ලින්ටන් පැරදූ ට්‍රපොම්පාණන් මෙන් පොළොවට බසින ලද්දාහ..
මැරයෝ එකා මත්තෙහි එකා හඬ නංවමින් පොළොව මත්තට වැටෙන්නාහ. පොළොව දෙදර දෙදරා මැරයෝ දරාගන්නාහ.. තැන් තැන් හී වැටී අස්ථි බිඳී වේදනාවෙන් කෑගසන මැරයෝය.. වැටී ඇති පුරුෂයන්ගේ සිරුරු මතින් පැනැ දඩයම නිමා යන මිගිඳානෝය.. සිංහම් එද්දැයි බලා බියෙන් වහා සිය දෑස් අඩවන් කරගන්නා පුරුෂයානෝය..
සිය පොඩිවී රැලිති සැදි කමිස අත අතින් සකසා සිංහම්‍යාණෝ යාත්‍රාංගනයෙන් පිටතට පා තබන්නාහ...!!!
සිංහම්‍යාණන් ගේ සුරු විරු කම් දැක දෙවියන්ද උදම් වී ආශිර්වාද කරන්නාක් මෙන් මහ වැස්සක් ද ඇදහැලෙන්නාහ..

--------


බස් එකේ ගිය දෙමළ ෆිල්ම් එකක ෆයිට් එකක් දැකලා මේක ලියන්න හිතුනෙ..
ඉතිහාසෙ පොත් වල රස කර කර අපි කියවන. උත්කර්ෂයට නංවපු සිද්ධිත් මෙහෙම ලියන්න ඇති.....


#අකලංකාරය
  - චමල් අකලංක පොල්වත්තගේ

No comments:

Post a Comment