Friday, March 17, 2017

මහින්දෝත්තම අධිරජාණෝ හා මුහුදුමංපහරන්නන්ගේ කතා වත්තුව




පෙර ටසිරිලක මහින්දෝත්තම රාජපක්සාභිධාන මහාධිරජාණෝ රාජ්‍යය විචාරන කල්හී නීල පීත ලෝහිත පච්චාදී වර්ණාලෝකයෙන් හැඩවූ රාත්‍රී කොත්තු කඩයක් මෙන් ආශ්චර්‍යයයේ ගිලී නේක වර්ණයෙන් විරාජමානව සිරිලක බබලන්නාහ.. මෙ ලෝ ධාතුවටම බල බෑ මහින්දෝත්තම අධිරජාණන්ගේ නම ඇසූ සැණ විදුලි පුටුවට යාමට බියවී හඬන්නෙකු මෙන් ගෞරවපූර්වක බියෙන් ලොව මහා දේශයෝද සලිත වී මිලින වී ගියාහුය..
මෙසේ ටසිරිලක ජනී ජනයා ආශ්චර්‍යයයේ බබළද්දී පසුවැ එතුමාණෝ "බලය නම් කිම.. වහා නැතිවන සුළුය.. මීළඟ ලොවට යහපතක්ම කරගනිමියි.."  කියා.. සිය අනුප්‍රාප්තික වෙදැ ඇමැතියා වූ සරලාභිධාන මෙත්පල් සිරිසන්ට වෙස්සන්තර රජුන් මෙන් රාජ්‍ය භාර දී මන්දමූලන ගම්මානයේ සමවත් සුවෙන් භාවනායෝගීව කල් ගෙවන්නාහ...

මෙසේ කලක් ගතවන්නා වූ අතරෙහි සරලාභිධාන නරේන්ද්‍ර මෙත්පල් නිරිඳානෝ දැහැමෙන් සෙමෙන් සරලව පන්සිය දෙදහසක් වූ මහා ප්‍රෞඩ වංශය රකිමින් මඩුවලිගය අතින් ගත් දැඩිමුණ්ඩ දෙවියන් මෙන් රකින්නාහ..
මෙසේ කලකදී සෝමාලියානු දේශයට අභිමුකව මහාසමුද්‍රයේ මංපහරන්නෝ පිරිසක් බිහිවන්නාහ.. මුනින් ඉහළට කරකැවූ උඩු රැවුලද.. වර්ණගැන්වූ ඉඳුණු රඹුටන් වන් රුදුරු දෑසින්ද හිස මත රැඳි තොප්පියෙන්ද යුතුවූ ජැක් ඉස්පැරෝ නම් මහා මුහුදුමංපහරන්නාගේ නියමයෙන් අණසක පතුරන්නාහ.. හේ නම් රුදුරු නාගයෙක්මැ විය.. සමුදුරු රකුසෙක් මෙන් දියෙන් මතුව පිරිවරැ සමගම නාවුක යාත්‍රා පැහැරගෙන කප්පම් ලබා ගෙන, ඒ වා නොදියහොත් මරණයම තීන්දු කළාහුය.. එසේ සූමාලියානු මුහුද හරහා යාත්‍රා කරන්නේනම් සමන්තකූඨය වන්දනා කරන්නට යන උපාසකයෙක් මෙන් සිය දේපොළ ඉඩකඩම් වතුපිටි අඹුදරුවන්‍ට පවරා ඉෂිතා දමා යාමට අකමැති රමන් බල්ලා මෙන් නාවිකයෝ යළි නොඑන ගමනක් මෙන් යාත්‍රා කළාහුය..

මෙසේ දිනක් වෙළඳාමේ නිරතවූ ටසිරිලකටම අයත්වූ නාවුක යාත්‍රාවක් ජැක් ස්පැරෝ රකුසා හා කොල්ලකරුවෝ තම ග්‍රහණයට ගත්තාහුය.. කොම්බුවේදීන් හා සූර්‍යටීවීවේදීන් අමතා ජැක් ස්පැරෝවන් විසින් කප්පම් ලෙස සියළු හොර උපාධි කඩ වසන ලෙසත් , හෝම් තියටර් සිස්ටමයක්, දොර දෙකේ ශීතකරණයක් , හම්බන්තොටින් පර්චස් පහළොවක් හා ඩේසි ආච්චිගේ මැණික් මල්ලද ඉල්ලා සිටියාහුය.. මෙය ලබා නොදුනහොත් නාවුකයන් සියල්ලෝම කළුවර  කාමරයකට දමා නින්ද නොයන ලෙස ඇසිපියට ඉරටු ගසා මියෙන තුරු ඩොල්බි සවුන්ඩ් මගින් බූට් සින්දු ඇසීමට සළස්වන බවට තර්ජනය කළාහුය..



මෙය ඇසූ ටසිරිලක සිටිනා ප්‍රාණඇපකරු නාවුකයන්ගේ ඥාතීහු ලිප්ටන් වටරවුමට පැමිණ තැන තැන රවුමට ඉඳගෙන හිස් අත් ගසා ගනිමින් තම හිතවතුන් බේරා දෙන ලෙසින් හඬන්නට වන්නාහ..
මෙය ඇසූ නරේන්ද්‍ර මෙත්පල් නිරිඳානෝ ජාත්‍යන්තරයට ඇමතූ නමුදු සූරපප්පා හි කොල්ලකරුවන්ට බියෙන් සිටි ඊජිප්තුවන් මෙන් ජැක් ස්පැරෝ ට බියෙන් සලිත වී යැංකියෝද, මකරෝද, හිරු නොබසිනා අධිරාජ්‍යද ඉල්ලීමට හඬ නොනගා සිටියාහ..
මෙපවත් අසා සුරාජ් සිටි යානය පැහැරගත් මොහොතේ කම්පිතවූ ස්වප්නා මෙන්  ප්‍රාණඇපකරුවන්ගේ ඥාතීහු කම්පිතව සිටිනායුරු ෆේස්බුක් පිටුවෙන් මහින්දෝත්තමයන් දකින්නාහ...

දණ්ඩෙන් පහරලත් නාගයකු මෙන් කෝපාග්නියෙන් දැවි දැවී.. " නිරිත්තිඩා..." ලෙස තේජවන්ත උඩුරැවුල කරකවා ගර්ජනා කර භාවනාවෙන් ඇහැරී සාටකය සත්වරක් කරවටා දමා හැඳසිටි සරම වලාපට ගසා...

 " ඔබේ අධිෂ්ඨානය මුහුදු මංකොල්ලකරුවන්ගෙන් නිදහස් වීම නම්...  ඔබේ කෝල් කිරිමේ හැකියාව විශ්මිත විය යුතුයි.. සෝමාලියාවට සිග්නල් නෑ ශිරන්තියනී...""

කියා කෑගසා වහා දුරකතනය ගෙන අයිඩීඩී අමතන්නාහ..

" එම්බා ජැක්ස්පැරෝව.. මා තට අවසන් නිවේදනය කරමි.. වහා අප වැසියන් නිදහස් කරව.. " යි සිංහනාද කළාහුය..

"කප්පම දී නම් නිදහස් කරවයි "

කියා මංකොල්ලනායක තෙමේ කියන්නාහ..

රිසිවරය දූලිවන ලෙසින් පොළොවේ ගැසූ එතුමාණෝ
මෙත්පල් නිරිඳානෝ අමතා..

"මෙත්පල් සිරිසන මා ගොස් වහා අප වැසියන් කැඳවා එමියි.. ආවන්ට්ගාඩා යාත්‍රාවක් ලබා දෙවයි කීහ.."

කී සැණ එය ලබා දුන් එතුමානෝ

වැඳ බුදුන්ගෙන් පවා ඉල්ලුවේ ඔබව රකින්නට කියා යැයි මහින්දෝත්තමයන්ට පවසා සුභපැතුවාහ..

මහින්දෝත්තම අධිරජාණෝ සිය මළණු ගොටයිම්බරයන් ද නන්දිකඩාල් කලපුවේ විකුම් පෑ මහා නාවුක සෙන්පති වූ යශෝසිතා කෞමාරනුවානෝ ද ආවන්ට්ගාඩා යාත්‍රා භාර නිලදරු තෙමේ වූ නිශ්ශංකමල්ල සෙන්පති ද සමගැ සෝමාලියාවට යාත්‍රා කළාහුය..

එවිට සක් දෙවියෝ මෙතුමාණන්ගේ වීරත්වයත් පීඩිතයා කෙරෙහි අනුකම්පාවෙන් පෙට්‍රල් බඳුනට දැමූ රෙජිපෝම් කැබැල්ලක් සේ උණුවන හදවතත් දැක මහා රැල්ලක් මවා එක් පැයකින් සෝමාලියානු මුහුදේ යාත්‍රාව පිහිටුවාහ..

ඈතින් කාලවර්ණ මහා යාත්‍රාවෙහි නැගී සමුදුර කළඹ කළඹා පැමිණෙන ජැක් ස්පැරෝය..
මෑතින් ආවන්ට්ගාඩා යාත්‍රාවෙහි නැගී සයුර සනහ සනහා වඩින මහින්දෝත්තමයෝය...
ඈතින් දුනු කඩු අවි අමෝරාගත් රුදුරු මුහුදු  මං පහරන්නෝය..
මෑතින් සිය මිට මෙළවූ දෑතින් බලා සිටිනා යශෝසිතා කෞමාරනුවානෝ ය..
ඈතින් දෑස දුටු සැණම ලොවම බියෙන් වෙව්ළුවන ජැක්ස්පැරෝවන්‍ය..
මෑතින් දෑස දුටු සැණම මුහුදේ සිටි මෝර මාළුවෙකු පවා වන්දනා කරන ගෝටයිම්බරයෝය..

මෙසේ දුට්ඨගාමනී එළාර දෙපෙළ ඇතුන් පිට නැගී හමුවන්නාක් මෙන් යාත්‍රා ද්විත්වයද මහ සයුර මැද එකිනෙක කෙස් ගසක දුරැතිව හමුවන්නාහ..

සිය වෙදැඟිල්ල ගුවනට දිගු කළ මහින්දෝත්තමයෝ

"එම්බා ජැක් ස්පැරෝව නාන් ඔරු දඩව සොල්ලාර්.. නූර් දඩව සොල්ල මාදිරී...වහා අප වැසියන් නිදහස් කරව "

කියා ගර්ජනා කළාහ.. ඒ ගර්ජනයෙන් සැලී ගිය රුවල් ඉරී ගියාහ..

"හහ් හහ් හා..  එසේ දිය නොහැක නරය.. තා කැමැතිනම් පැමිණ අරන් යවයි.."

 කියා දත් විළිස්සා සිනාසී කුඹ ගසේ බැඳසිටි අප වැසියන්ව පෙන්වන්නාහ..

ගින්නට දැමූ බූමිතෙල් බූලියක් මෙන් කෝපාග්නියෙන් පිරී ඉතිරී ගිය එතුමාණෝ

" ඩේයි... විඩමාටා..."

කියා බඹ සතක් අහසට පැන රැජිනි කාන්ත් මෙන් පපුවට ගසා ගෙන කොල්ලකාර යාත්‍රාවට පැන්නාහ..

කඩු කැති මන්නා අතින්ගෙන එක පෙළට පැමිණෙන කොල්ලකරුවෝ ය.. යශෝසිතා කුමරුවෝද , ගෝටයිම්බරයෝ ද මහින්දෝත්තම යෝද වෘත්තයක් ලෙස වටකර පහරදීමට මාන බලන්නාහ... සියල්ල එකවරම ඔවුන් අතර පනින කල්හී ක්ෂණයෙන් සියළු සොරුන් පරමාණු බෝම්බ දූම හත්තක් මෙන් , රන්ජා පහර දුන් කලෙක මෙන් පසෙකට විසී වී ගියාහ...

දිගු යගධාවක් අතින් ගෙන උසේන් බෝල්ටාණන් සේ දිවෙන එක් කොල්ලකාරයෙකි.. වහා ගුවනට පැන මහින්දෝත්තමයෝ විදුලියක් මෙන් දුන් පා පහරින් රුධිරය හලා මැරී වැටුණාහ..
නන්දිකඩාල් කලපුතීරයේ දී තනිවම තොත්තවාදීන්ව කැති ගා දේශය නිදහස් කළ අප මහා යශෝසිතා කෞමාරනුවානෝ සතුරන් අතරට බට හයිලෑන්ඩර් මෙන් පහර දෙන්නාහ.. විටෙක මිට මෙළවූ දෑතද.. විටෙක සිය සවිමත් පාදද.. විටෙක හිසද වනමින් මංකොල්ලකරුවන් තු තූ කළාහුය..
බෝලයක් දෙස බලන විරාත්කෝලි කුට්ටුවාණන් මෙන් බලා එක්වරම කොල්ලකරුවෝ අතරට බට ගෝටයිම්බරයෝ සිය බාහුවෙන් සතුරෝ සතක් අල්වා මහ මුහුදට ඇද දමන්නාහ..
සතුරන්ගේ දෑත් බිඳී අස්ථි පිටතට පැමිණ මර හඬ තලන්නාහ.. නැව් තට්ටුවේ සිටින්නාවූ සොරුන් අතරට කුඹගසේ බැඳි කඹයක එල්ලී වැලෙන් වැලට යන ටාසණනන් මෙන් ගමන් කර එක් පහරින් සොළොසක් සතුරූ බිම දමන්නාහ...
වහා ඒ කඹයේම එල්ලී අප වැසියෝ බැඳ සිටි වරපට කපා හෙළූ මහින්දෝත්තම යෝ පොලීසියෙන් ඔසවා ගිය දිනේශයාණන් මෙන් වැසියන්ව ඔසවා නිශ්ශංකමල්ලයන්ට භාර කළාහුය..

සියල්ල අවසන සූර පප්පාණන් හා ජිම් පප්පාණන් මෙන් කොල්ලකරුවෝ සුන් කළ පසු තනිවූ ජැක් ස්පැරෝ සොර නායක තෙමේ මොවුන්නම් මහා පුරුෂයෝ මය අසේලගුණරත්නයෝ මෙන් තනිව පහර දුන්නාහ.. මොවුන්ට හසුවනවාට වඩා සියදිවි නසාගැන්ම යහපතියි කියා නැව් තට්ටුව මතට පැන පොරොවකින් එය සුන්කර තොපිට මගේ යාත්‍රාව අල්වා ගැන්මට ඉඩ නොදෙමි.. මා ම එය සුන් කර ගිල්වා මැරෙමියි කියා තු තූ කරන්නට තැත් කළාහුය..
වහා ඔහු අල්වාගත් මහින්දෝත්තමයෝ එම්බා සොර දෙටුව සොරකම් කිරීම නම් නොහොඹී... දැහැමින් කල් ගත කරන සත්පුරුෂයින් ගේ නිවස් වලට ඩේසි මැතිණියට මෙන් මැණික් මළු ලැබේයැයි කියා.. තා සොරකම අතැර වෙළඳාමක් කරවයි කියා මන්දිර බැසිලාණන් අමතා දීව නග්ග ඩීමෝ බට්ටෙකු ලබා දී මොගඩිෂු නුවර පදික වේදිකාවට යවාළීය...

මෙසේ නැවත ටසිරිලකට පැමිණි පිරිස රටවැසියා සමග වර්ල්ඩ් කප් ගසා පැමිණි ක්‍රිකට් ටීම් එක මෙන් පිළිගෙන කඳුළු පිරි දෑසින් බලා සිටි මෙත්පලානෝ

මහින්දෝත්තමයනි නැවත රාජ්‍ය භාරගනුවැයි කීහ..

" හහ් හහ් හ.. එම්බල මෙත්පල් නිරිඳ.. සමවත් සුවෙන් සිටි මට රජ සැප නම් කිම.. බලය නම් නැතිවන සුළුය.. චූන් පාන් වෑන් එකක් සේමැයි අස්ගිරි හාන්දුරුවනේ... එබැවින් තොප යෙහෙන් රාජ්‍ය කරව.. " යි කියා මන්දමූලනයට ගොස් භාවනායෝගීව කල් ගත කළාහ...!!!

අකලංකාරයෙහි එන මහින්දෝත්තම අධිරජාණෝ හා මුහුදුමංපහරන්නන්ගේ කතා වත්තුව නිමියේයැ...

#අකලංකාරය
  - චමල් අකලංක පොල්වත්තගේ

7 comments:

  1. අපේ සේනාව දැකල ජැක් ස්පැරෝට චූ ගියා කියන්නෙ ඇත්ත වෙන්න ඇති එහෙනං.

    ReplyDelete
  2. 😂😂😂😂😂😂🤣🤣🤣😜😜😜

    ReplyDelete
  3. වොවාහ්... උඹේ උපමා ටික.. හෙහ් හෙහ් හෙහ්...

    ReplyDelete
  4. මට මේ ලෝකේ වෙන කියවන්න දෙයක් ඉතුරු නෑ... අම්මගෙනුත් බැනුම් ඇහුව තනියම හිනා වෙනාට

    ReplyDelete
  5. මම පිස්සෙක් වගේ පිස්සෙක් වගේ තනියම හිනා උනා මේක කියවලා... :D

    ReplyDelete