Saturday, March 25, 2017

ඇය


==   ==

හිරු කිරණ විගසට පැමිණ
ඈව සිපගත් මොහොතෙම
රනින් කරවූ විලසට
දුඹුරු පැහැ සම උදුලව...

සමහර ළඳුන් මගෙහී
ඇගේ වත දුටු සැනෙහී
බලා සිය නෙත් කොනෙනී
අරුමයක් මැයි කියතී....

නොදනිමි කිමද හිනැහුණු
වල රැඳි කොපුල දකුණු
එක් පිණි බිඳක් රැඳුණු
පියුම් පත මෙන් දිලුණු....

ඒ දෑස් දැක දෙවි සක්
සැක සිතී මයුරා පිලක්
ඇඳි වැනියි සිතුවම් දෙකක්
සඳ මතෙහි පැහැ කළු නිලෙන්..

කෙලෙස කියමිද සොඳුරු
ඇගේ පිරිපුන් පියොරු
ඉගිල්ලෙන්නට මියුරු
සැරසි දියවන තිසරු....

පිට මත රැඳුනු රූරා
වරල හෙමිහිට සැලෙනා
පොරබදිනු මෙනි ඉඳුරා
වරල සිපගනු සුළඟා...

නැඩ කිතුල් බඳ සරී
පුළුලුකුල රැඳි ඔසරි
පා තබන යුරු මිහිරී
විලස ඈ මන්දෝදරී...

ඇය දෙව්ලොවට බාරය
මෙලොව කත අසමානය
සිහිකර ඈ දිවාරැය
ලියමි අකලංකාරය....

#බස්කවි
#අකලංකාරය
  - චමල් අකලංක පොල්වත්තගේ

3 comments:

  1. නෙළුම්යායෙදි ඇහැ ගැටුනු කෙනෙක් සම්බන්ධව මෙය ලියා ඇති බව පෙනී යයි :)

    ReplyDelete
    Replies
    1. ඉයන්... ඔබ හරියටම හරි කියලයි මට හිතෙන්නෙ..මේකා මේ විස්තර කරන දේහ ලක්ෂණ අනුව මම නෙළුම්යායෙ ෆොටෝස් බොහොම පරීක්ෂාවෙන් නරඹල තුන්දෙනෙක් ෂෝට් ලිස්ට් කලා. අනිවා මූ මේ කියන්නෙ ඒ තුන්දෙනාගෙන් එක්කෙනෙක් ගැන වෙන්න ඕන. ආය ඒකෙ දෙකක් නෑ...:)

      Delete
    2. බස් එකේ දැක්කෙ හත්වලාමේ 😂😂😂😂

      Delete