Thursday, March 9, 2017

ගෝත්‍රිකයෝ | ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව | නෙල්සන් මැන්ඩෙලා



===   === 


ලාංකීය ජනතාවගේ උත්තරීතරම ආයතනය වන පාර්ලිමේන්තුව ඇතුළු අනෙකුත් නියෝජන  ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක කරන ආයතන ද අනවශ්‍ය දේ කතා කරන..  පහර දෙන.. කුණුහර්පෙන් බැනගන්නා.. ගහමරා ගන්නා අන්ත නිර්ලජ්ජිත තත්වයට පත්ව ඇත.. මානසික රෝගීන් හා පෙරපාසල් දරුවන් මෙන් හැසිරෙන මන්ත්‍රීවරුන් නිසා අහිමි වන්නේ මහජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ය.. රටේම අනාගතයය.. 

මේ පහත ඇති සටහන මා උපුටා ගත්තේ දකුණු අප්‍රිකානු හිටපු නායක නෙල්සන් මැන්ඩෙලා මහතාගේ ස්වයංචරිතාපදානයෙහි මහින්ද හත්තක මහතාගේ සිංහල පරිවර්තනයෙනි..

ලෝකයා විසින් පහත්කොට සලකන සතුන් දඩයම් කර ආහාරයට ගන්නා.. අව්වට වැස්සට ගින්නට වඳින දකුණු අප්‍රිකානු ගෝත්‍රික ජනතාව තම ගෝත්‍රයේ පාලනය  ක්‍රියාත්මක කළ ආකාරය පිළිබඳ පහත සටහන සාක්ෂි දරයි..

මෙය කියවීමෙන් පසුව දියුණුයැයි කියාගන්නා අපේ පාලකයන් ගෝත්‍රිකයන්ටත් වඩා කොතරම් පහත් තත්වයක සිටියි දැයි වැටහෙනු ඇත..


( මැන්ඩෙලා තම පියාගේ මරණයෙන් පසු තම ඥාතියෙකු වූ තෙම්බු ගෝත්‍රයේ යුවරජුගේ නිවසේ කුඩා කල දිවි ගෙව්වේය.
එහිදී ලත් අත්දැකීම් ඔහු මෙසේ සඳහන් කරයි.. )

                               -----------------

( උපුටා ගැනීම පිටු අංක 39 )
//

පසු කාලයක නායකත්වය පිළිබඳ මාගේ දැක්ම හැඩ ගැස්වීමෙහිලා ගැඹුරු ලෙස බලපෑවේ යුවරජු හා ඔහුගේ පාලන මණ්ඩලය නිරීක්ෂණය කිරීමෙන් ලත් දැනුමයි.. නිරන්තරයෙන්ම මහ ගෙදර පවත්වනු ලබන ගෝත්‍රික රැස්වීම් දෙස බලා සිටි මට ඉන් ඉගෙන ගත හැකි විය. රැස්වීම් පැවැත්වීමේ නිශ්චිත දිනයන් නොවූ අතර අවශ්‍යතාව අනුව රැස්වීම් කැඳවනු ලැබීය.රැස්වීම් කැඳවනු ලැබුවේ නියඟය, ගවයන් ගාල් කිරීම, නඩුකාරයා නියෝග කරන ලද ප්‍රතිපත්ති හෝ රජයෙන් පනවන ලද නව නියෝග වැනි ජාතික වැදගත්කමකින් යුත් කරුණු 
සාකච්ඡා කිරීමටය. එම රැස්වීම්වලට සෑම තෙම්බු ජාතිකයෙකුටම සහභාගී විය හැකි අතර ඔවුන් බොහෝ දෙනෙකු ඊට සහභාගී වූහ.. ඔවුන් පැමිණියේ අසු පිට හෝ පා ගමනෙනි.

මෙවැනි අවස්ථා වල යුවරජු පිරිවරා සිටියේ ඔහුගේ පාර්ලිමේන්තුව හා අධිකරණය ලෙස ක්‍රියා කළ ඉහල පෙළේ උපදේශකයන්ගේ මණ්ඩලයකි. එය අමප්හකති යනුවෙන් හැඳින්විණ. ගෝත්‍රික ඉතිහාසය හා සම්ප්‍රදායන් ගැන ඇති දැනුම අනුව පත් කරනු ලැබූ ඔවුන්ගේ මතයට දැඩි සැලකිල්ලක් හිමි විය.

මෙම රැස්වීම් කැඳවනු ලබන්නේ යුවරජු විසිනි.එවැනි කැඳවීමක් ලද වහාම තෙම්බු ප්‍රදේශයෙන් ගෙදරට පැමිණෙන වැදගත් අමුත්තන්ගේ හා සංචාරකයන්ගේ සංඛ්‍යාව වැඩිය. යුව රජුගේ නිවස ඉදිරිපිට මිදුලේ මෙම රැස්වීම් පැවැත්වෙන අතර රැස්වීම ආරම්භයේදී පැමිණි පිරිස පිළිගැනීමත් , රැස්වීමේ අරමුණත් පැහැදිලි කරන්නේ යුවරජු විසිනි. එතැන් සිට රැස්වීම අවසානයට ළඟා වන තෙක් යුවරජු වචනයක් හෝ කතා කරන්නේ නැත..

කතා කිරීමට අවශ්‍ය සෑම කෙනෙක්ම කතා කළහ. ඒ ඉතාමත් සුපිරිසිදු ආකාරයේ ප්‍රජාතන්ත්‍රවාදයයි.. වැදගත්කම අනුව කථිකයන්ගේ අනුපිළිවෙලක් වූ අතර සෑම කෙනෙකුටම කතා කිරීමට අවස්ථවක් ලැබිණ. නායකයාට හා සාමාන්‍ය වැසියන්ටත් , සටන්කරුවාට හා වෙද මහතාටත්, කඩකාරයා හා ගොවියාටත්,ඉඩම් හිමියාට හා  කුලීකරුවාටත් සම අවස්ථාවක් ලැබිණ.. කිසිවෙකුගේ කතාවට බාධාවක් නොවූ අතර ඔවුහු පැය ගණනක් කතා කළහ.. මෙම ස්වයංපාලනයේ පදනම වූයේ සෑම කෙනෙකුටම තම මතය ප්‍රකාශ කිරීමට අවස්ථාවක් ලැබීමත් පුරවැසියන් වශයෙන් ඔවුන් සෑම දෙනාම එකම තත්වයෙහිලා සැලකීමත් ය.. ( එසේ වුවත් ගැහැණු දෙවැනි පන්තියේ පුරවැසියන් සේ ගැනිනයි සිතමි ) 

අනම් මනම් කතා කරන සමහර අයට අවශ්‍ය මාතෘකාවට එළඹීමට නොහැකි වන අයුරු මම දුටුවෙමි.. තවත් සමහරු ප්‍රශ්ණයට ඍජුව එළඹ තම තර්කයන් කෙටියෙනුත් සිත් කාවදින ආකාරයෙනුත් ඉදිරිපත් කරනු දුටුවෙමි. කොටසක් ඉතා සන්සුන්ව , තැන්පත්ව තම අදහස් ඉදිරිපත් කළ අතර තවත් සමහරු කුපිත කරවන ආකාරයේ භාෂාව හා උපක්‍රම යොදවමින් පිරිස දිනාගන්නට උත්සහ කරන ආකාරය දුටුවෙමි..

මම ප්‍රථමයෙන්ම මිනිසුන් යුවරජු විවෘත්තවම දැඩි ලෙස විවේචනය කිරීම ගැන පුදුමයට පත් වූයෙමි.. බොහෝ විට විවේචන සියල්ල එල්ල වූයේ ඔහුටය.. තමාට එරෙහිව ඉදිරිපත් වන චෝදනා කෙතරම් බරපතල වුවත් යුවරජු ඒ සියල්ලටම නිහඬව ඇහුම්කන් දුන්නා විනා කලබල වූයේ හෝ පිළිතුරු දීමට නැගී සිටියේ හෝ නැත..

කිසියම් ආකාරයක සම්මුතියකට එළඹෙන තෙක් රැස්වීම පැවැත්විණි.. රැස්වීම අවසන් වන්නේ සම්මුතියකට එළබීමෙන් හෝ සම්මුතියක් නැතිවය.. සමහර විට එකඟත්වය වන්නේ එකඟත්වයට නොඑළඹීමට වන එකඟත්වය හෝ විසඳුමක් ඉදිරිපත් කිරීම සඳහා වඩාත් සුදුසු කාලයක් එළඹෙන තෙක් කල් දැමීමටය.. ප්‍රජාතන්ත්‍රවාදය යන්නෙන් අදහස් වන්නේ සෑම කෙනෙකුගේම මතයට ගරු කිරීමත්, ජනතාව වශයෙන් සාමූහිකව තීරණයකට එළඹීමත් ය.. බහුතරයේ පාලනය යන්න පිටස්තර වූවකි.. බහුතරය විසින් සුළුතරය පාගා දැමිය යුතු නොවේ..

හිරු බැස යනවිට රැස්වීම අවසන් වෙද්දී යුවරජු කතා කිරීමට නැගී සිටියි. ඔහුගේ කාර්‍යය වන්නේ එදින කතා බහ වූ දේ සම්පිණ්ඩනය කිරීමත් , විවිධ අදහස් අතර කිසියම් ආකාරයක සම්මුතියක් ඇති කිරීමත් ය.. එහෙත් එකඟත්වයක් නැති විටක තීරණයක් ගැනීමට බලකිරීමක් නැත.. එකඟත්වයක් නොමැතිනම් නැවත රැස්වීම කැඳවනු ඇත.. 

රැස්වීම අවසානයේදී ස්තෝත්‍ර ගායකයෙකු හා කවියෙකු පැරණි රජවරුන්ගේ ගුණ වැයුමක් කරන අතර වත්මන් නායකයන් උපහාසයටත් ප්‍රශංසාවටත් ලක් කරයි.. // 

( උපුටා ගැනීම අවසන් - පිටු අංක 42 )


                               ---------------

කිසිත් නොකියමි..
අපි තවමත් ප්‍රජාතන්ත්‍රවාදය අඳුරේ අතපතගාමින් සිටින්නෙමු

#අකලංකාරය 
  - චමල් අකලංක පොල්වත්තගේ 

2 comments:

  1. ඔබේ බ්ලොග් අඩවියේ පලවු ලිපි නෙලුම් යාය බ්ලොග් සම්මාන උළෙලේ දෙවනි වටයට තේරි ඇති අතර , තරගයට ඔබේ බ්ලොග් අඩවියේ ලිපි ඉදිරිපත් කිරිම ගැන අකමැත්තක් ඇත්නම් කරුනාකර atampahura@gmail.com වෙත ඊමෙල් පනිවිඩයක් මගින් දැනුම් දෙනමෙන් කාරුනිකව ඉල්ලා සිටිමි , 2017-03-12 දින පෙරවරු 6 ට බ්ලොග් සටහනක් මගින් තරග කරන බ්ලොග් අඩවි ප්‍රකාශයට පත් කරන බැවින් ...ඊට ප්‍රථමව අකමැත්තක් ඇත්නම් දැන්වුවහොත් අපහට මහත් අස්වැසිල්ලකි . ස්තුතියි ....නෙලුම්යාය වෙනුවෙන් ...අටමා

    ReplyDelete